ලෝකය දැන් සිටින්නේ ගෝලීය වශයෙන් කොරෝනා වෛරසයේ පළමු රැල්ල මැද බව පෙන්වා දෙමින්, පෙරේදා (25දා) ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය මයික් රයන් මෙම අදහස් පළ කළේය.
"මේ නිසා ඕනෑම වේලාවක රෝගය ඉහළ යා හැකි බව අප දැන සිටිය යුතුයි. රෝගය දැන් පහව යමින් පවතිනවා යැයි හෝ, දෙවැනි රැල්ලකට සූදානම් වීමට මාස ගණනාවක් ගත වනු ඇතැයි කියාවත් අපට උපකල්පනය කළ නොහැකියි. අපට මේ ආකාරයෙන් දෙවැනි උච්චතම අවස්ථාවකට වුවද මුහුණ දීමට සිදුවෙන්න පුළුවන්." වෛද්‍ය රයන් අවධාරණය කළේය. විශේෂයෙන්ම සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා සමයේදී දෙවැනි උච්චතම අවස්ථාවක් හෝ රැල්ලක් පැමිණිය හැකි බවට රයන් අනතුරු ඇගවූ අතර, එය රෝග පාලනය සඳහා වූ ක්‍රියාදාමය බෙහෙවින් සංකීර්ණ කරනු ඇති බවද ඔහු කියා සිටියේය.
"මේ රෝගය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේදී බොහෝ රටවල් විශාල මිලක් ගෙවා තිබෙනවා. ඔවුන්ට ඒ ගෞරවය හිමිවිය යුතුයි. නමුත් දැන් මගේ කනස්සල්ල පවතින්නේ, වර්තමාන ආසාදන පහත වැටීම ස්වාභාවික සෘතුමය බවක් නියෝජනය කරන බවට මිනිසුන් උපකල්පනය කිරීමයි. එය භයානක උපකල්පනයක් යැයි මා විශ්වාස කරනවා."
ඒ අනුව මේ අවස්ථාවේදී වෛරසය සම්බන්ධයෙන් වූ උන්නදුව අත්හැර, මීළඟ සැබෑ අන්තරාය පැමිණෙන්නේ ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවල යැයි උපකල්පනය කිරීම වඩාත් භයානක තත්වයක් බවද විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් දැඩිව අනතුරු අඟවා සිටියේය.