කොරෝනා වසංගතය හේතුවෙන් නිවාස තුළ දිගු කාලයක් රැඳෙන්නට සිදුවූ සිසුන් හට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීමේ ක්‍රම (ඔන්ලයින් ලර්නින්ග්) දැන් ප්‍රචලිතව තිබේ.
ඔන්ලයින් මාධ්‍යයෙන් ඉගෙනීම එකවරම රටක මූලික ඉගෙනීමේ ක්‍රමය බවට පත් වන විට
සියලුදෙනාටම එක සේ එම ක්‍රමයට හැඩගැසිය හැකිද යන්න ගැටලුවකි. එසේ නොහැකි වීම හේතුවෙන් දරුවන් පීඩාවට පත් වේ.
දින නියමයක් නොමැතිව පාසැල් වසා තැබීමේදී ශ්‍රී ලංකාව තුළ තිබෙන බොහෝ අධ්‍යාපන ආයතන අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම (e-learning) ආරම්භ කර තිබේ. වට්සැප්, වයිබර්, Zoom, Microsoft teams වැනි මෘදුකාංග වැඩසටහන්වලට හැඩගැසෙමින් ඉගෙනීමේ කටයුතු සිදු කරගැනීමට ගුරුවරු සහ ශිෂ්‍යයෝ ඉමහත් වෙහෙසක් දරති.
නමුත් ශ්‍රී ලංකාව තුළ වෙසෙන සියලුම පවුල්වලට මෙවැනි තාක්ෂණික ක්‍රම ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව නොතිබේ. LIRNEasia ආයතනයෙන් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ ස්මාට් ජංගම දුරකතනයක් හෝ පරිගනකයක් තිබෙන්නේ අවුරුදු 18ට අඩු දරුවන් ඇතුළත් පවුල්වලින් සියයට 48කට පමණක් බවය. අන්තර්ජාල පහසුකම් තිබුණේ ඊටත් වඩා අඩු පවුල් ගණනකටය. එනම් සියයට 34කට පමණය.
සෑම ස්ථානයකම විවිධ අභියෝග තිබේ. තලවාකැලේ ප්‍රදේශයේ පාසැලක 8 ශ්‍රේණිය ඉංග්‍රීසි ගුරුවරයෙක් පැවසුවේ ඔහුගේ ශිෂ්‍යයන් 48දෙනා අයත් වන්නේ වතු කම්කරුවන්ගේ පවුල්වලට බවය. වට්සැප් හරහා දරුවන් සමඟ පාඩම් හුවමාරු කරගන්නා ලෙස බලධාරීන් ඇයට මඟ පෙන්වූ නිසා ඇය තම ශිෂ්‍යන්ව සම්බන්ධ කරගත හැකි සියලුම දුරකතන අංක එක් රැස් කරගත්තද ඔවුන්ට වට්සැප් පහසුකම නොතිබූ බැවින් වට්සැප් කණ්ඩායමක් (group) නිර්මාණය කිරීමට ඇය අපොහොසත් විය.
“මං ඒ ගැන ඔවුන්ගෙන් විමසූ විට බොහෝදෙනා පැවසුවේ ඔවුන්ට ස්මාට් ජංගම දුරකථන පහසුකම් නොමැති බවය” කියා එම ගුරුවරයා අදහස් දැක්වීය. පවුල් කිහිපයක් සතුව එවැනි දුරකතන තිබුණද වට්සැප් යනු කුමක්ද කියා ඔවුන් දැන සිටියේ නැත. දුරකතනයට වට්සැප් ස්ථාපනය කරගන්නා ලෙස ඔහු ඔවුන්ට පැවසූ විට “සර්ගේ ෆෝන් එකේ ඒක දාගෙන අපිට එවන්න පුළුන්ද?”  එම ගුරු මහතාගෙන් විමසූ පුද්ගලයෝද වෙති.

කිලෝමීටර ගණනාවක් දුර ඈත යාපනයේ රජයේ පාසැලක ගුරවරියකද අප හා එක් වී අදහස් දැක්වීය. ඇය අවුරුදු 8ක සහ එක් අවුරුද්දක දරු දෙදෙනෙකුගේ මවක්ය. වැඩිහිටි දරුවාට ඔන්ලයින් පන්තියට සහභාගි වීමට උපකාර අවශ්‍යය. විශේෂයෙන්ම ඇගේ ඉලෙක්ට්‍රෝනික උපාංගය ඇසුරින් එම දරුවාට පහසුකම් සලසා දිය යුතු නිසා ඇය තම කුඩා දරුවාව දෙදණ මත තබාගෙන ඔන්ලයින් පාඩම අවසන් වෙන තෙක් රැඳී සිටියි. වැඩි කාලයක් දරුවාට දුරකතන තිරය ඉදිරියේ කාලය ගත කිරීමට සිදු වීමෙන් දරුවාගේ සෞඛ්‍යට ඇති කරන බලපෑම පිළිබඳව ඇය කරදර වන්නීය. එමෙන්ම Zoom පන්තිවලට සහභාගි වීමේදී ස්ථාවර දුරකතන සම්බන්ධතාවයක් තිබීම අවශ්‍යය. එම ගුරුවරිය අවධාරණය කළේ ඇගේ ගම්පළාතේ ජීවත් වන බොහෝ පවුල්වලට එවැනි වියදමක් දැරීම අපහසු බවය.
ඇතැම් ගුරුවරුන් දරුවන්ට යම් මුද්‍රිත පිටපත්ද යවති. නමුත් කඩදාසි මගින්ද Covid-19 ව්‍යාප්ත විය හැකි නිසා ඒවා දරුවන්ට ලබා දීමට පෙර දින 10ක් තබාගන්න කියා තමන්ට උපදෙස් ලැබුණු බව ඇය තවදුරටත් පැවසීය. ඉක්මනින්ම ශිෂ්‍යයන්ගේ පිළිතුරු ලබාගැනීමට ගුරුවරුන්ට අවශ්‍ය වන අවස්ථාවලදී මෙයද ගැටලුවක්ය.
රාත්‍රී කාලයේදී ඩේටා මිල අඩු බැවින් දිවා කාලයේදී නිදාගෙන රාත්‍රී කාලයේදී අවදිව සිටින 11 ශ්‍රේණියේ දරුවෙකු පිළිබඳවද අපට අසන්නට ලැබීය. ගොතටුව ප්‍රදේශයේ ජීවත් වන මෙම දරුවාගේ මව රැකියාව සිදු කරන්නේ ඇඟළුම් කර්මාන්තශාලාවක වන අතර මෙම මාසය තුළදී ඇයට වැටුප් ලැබී නැත. දිවි සරි කරගැනීමට මූලිකවම අවශ්‍ය වන්නේ ආහාරය. දිවා කාලයේදී සජීවි පන්තිවලට සහභාගි වීමට අපහසු බැවින් ඇය රාත්‍රී කාලයේදී YouTube එකෙන් විෂයට අදාළ පාඩම් සොයයි.
සියලුදෙනා එක්වරම ඔන්ලයින් හරහා සම්බන්ධ වී විභාග පැවැත්වීමේ ක්‍රමය ඇතැම් ටියුෂන් ගුරුවරුන් විසින් ආරම්භ කර තිබේ. නමුත් විභාග අතරතුර විදුලි බිඳ වැටීම නිසා එම දරුවන්ගේ දෙමාපියන් තුළ විශාල මානසික පීඩනයක් ඇති වී තිබේ.
අධීක්ෂණයක් නොමැතිව යොවුන් දරුවන්ට අන්තර්ජාලය භාවිත කිරීමට ඉඩ දීමද බොහෝ පවුල්වල කනස්සල්ලට හේතු වී තිබෙන ගැටලුවක්ය. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටින ඇතැම් දරුවන්ගේ විෂය නිර්දේශය ආවරණය කරන්න තියා තවම හිතලාවත් නැත.
“ශිෂ්‍යත්ව විභාගය කල් දමයි කියා” තමන් නොසිතන බව එක් දෙමාපියෙක් පැවසීය. “එසේ සිදු වූවොත් මෙම පහසුකම් ලබාගත නොහැකි දරුවන්ට තිබෙන විසඳුම මොකක්ද” යන්න ඔහුගේ කනස්සල්ලට හේතු වී තිබේ.
Zoom පන්තියකට සහභාගි විය හැකි උපරිම සීමාව 500ක්ය. පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මගින් එම පන්ති සැලසුම් කරනු ලබයි. ඒවා ආරම්භ වන්නේ උදෑසන 6ටය. “අපි පාන්දර 5:30ට ඔන්ලයින් යනවා. ඒත් සමහර වෙලාවට අපිට පන්තියට ඇතුල් වෙන්න බැහැ. උපරිම සීමාව පිරිලා කියලා දිස් වෙනවා”  යාපනය ප්‍රදේශයේ එක් ගුරුවරයෙක් අදහස් දැක්වීය
“උතුරු පළාත තුළම ශිෂ්‍යයන් 10,000ක් පමණ සිටිනවා. මං පාන්දරින්ම log in වෙලා මගේ පුතාට අවස්ථාව අරගත්තා කියමුකෝ. ඒත් ඒකෙන් තවත් ශිෂ්‍යයෙක්ට තියෙන අවස්ථාව නැති වෙනවා. එතකොට ඒ ශිෂ්‍යයන්ට මොකක්ද වෙන්නේ?” එම ගුරුවරයා තවදුරටත් අසයි.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ඕෂධ සේනානායක පැව‍සුවේ මිලියන 22ක් පමණ වන ශ්‍රී ලාංකික ජනගහනයෙන් මිලියන 13ක ආසන්න ප්‍රමාණයකට දත්ත පිවිසුම් හැකියාව (data access) තිබෙන බවය. එම පිවිසුම් හැකියාව 3G සහ 4G ලෙස වර්ග කළ විට සියයට 91ත් 93ත් අතර ප්‍රමාණයකට 4G පහසුකම තිබේ. මේ පිළිබඳව TRCSL මගින් ග්‍රාම නිලධාරී කොට්ඨාස 4800ක් ඇසුරින් සමීක්ෂණයක් සිදු කරන ලදි.
හොඳ ආවරණයක් තිබෙනවාද නැද්ද යන්න දැනගැනීමට අවශ්‍ය සංඛ්‍යා ලේඛන තමන් සතුව තිබෙන බව සේනානායක මහතා ප්‍රකාශ කළේය. මෙම තොරතුරු ලබාගැනීම “ගමට සන්නිවේදනය” නම් වූ වැඩසටහනක කොටසක්ය. ශ්‍රී ලංකාව පුරා 4G අන්තර්ජාල පහසුකම ලබා දීමට දුරකතන සන්නිවේදන සංවර්ධන බද්දක්ද පනවන ලදි.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ පාසැල් ශිෂයයන් වෙනුවෙන් ඇරඹුණු “LEARN” සහ ඊ-තක්සලාව ලෙස යන ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමේ වෙබ්අඩවි අධ්‍යාපන අමාත්‍යංශය සහ ජංගම සේවා සපයන්නන් එක්ව නොමිලයේ ලබා දීමට කටයුතු යොදා තිබේ. ඒවාට නොමිලේ ඇතුල් විය හැකි වුවද ඒවායේ අන්තර්ගතය පිළිබඳ වගකීම පැවරෙන්නේ අමාත්‍යංශයටය.
නමුත් බොහෝ ශිෂ්‍යයන් මුහුණපාන ගැටලුව වන්නේ ඩේටා සඳහා වැය වන වියදම දරාගත නොහැකි වීමය. මීට විසඳුම වන්නේ මෙම නව අවශ්‍යතාවයන්ට ගැළපෙන ඩේටා පැකේජ සහනදායී මිලට ලබා දීම බව සේනානායක මහතා පැවසීය.

“YouTube වැනි යෝධයන් ඉල්ලුමට සැපයුම ලබා දීම සඳහා ඔවුන්ගේ සම්ප්‍රේෂණ ධාරිතාවය අඩු කර තිබෙන මොහොතක සීමිත ජාල සමඟ කටයුතු කරමින් ඩේටා ඉල්ලුමට සැපයුම ලබා දීමට අප පියවර ගෙන තිබෙනවා” කියා ඔහු පැවසුවේය. ඩේටා අවශ්‍යතා සපුරාලීමට ඇතැම් විශේෂ පැකේජ තිබුණද ඒවා භාවිත කිරීමට මහජනතාව අවධානයෙන් පසු‍ නොවූ බව දක්නට ලැබීය.
නමුත් නිවැරදි තාක්ෂණයට පිවිසීමේදී බොහෝදෙනා නොදකින අභියෝගවලට මුහුණ දීමට සිදු වේ. “අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව නැති වීම පිළිබඳව හෝ ඔවුන්ට ඒ සඳහා දක්ෂතාවයක් නැතිකම නිසා මහජනයාට දඬුවම් කළ යුතු නැත. මන්ද එම කුසලතා අප ඔවුන්ට ලබා දී නැත” කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශ ප්‍රධානී ප්‍රභා මනුරත්න පැවසීය. තාක්ෂණික අධ්‍යාපනය සහ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රම පිළිබඳව අවශ්‍ය පුහුණුව ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්‍රමය මගින් ලබා දී තිබෙන්නේ අවම වශයෙනි. ඇතැම් කථිකාචාර්යවරුන් Zoom හරහා ඉගැන්වීම ආරම්භ කර තිබෙන අතර සාර්ථකත්වය රඳා පවතින්නේ පන්‍තියේ පසුබිම සහ විශාලත්වය මතය.

අවුරුදු 5ක් පුරා රජයේ විශ්වවිද්‍යාල විසින් ඔන්ලයින් අධ්‍යයන පද්ධති භාවිත කර තිබුණද ඔන්ලයින් ඉගැන්වීම පිළිබඳ පුහුණුව ඇතැම් කථිකාචාර්යවරුන්ට ප්‍රමාණවත් ලෙස ලැබී නැත. එක් භාෂාවක් පමණක් දන්නා ගුරුවරුන් සහ සිසුන් තවත් අභියෝගයකට මුහුණ දෙන බව කථිකාචාර්ය මනුරත්න පැවසීය. ඔන්ලයින් ඉගැන්වීමේදී සිංහල සහ දෙමළ භාෂවෙන් තොරතුරු අන්තර්ගත කිරීම සඳහා ගුරුවරුන්ට ඒවා ටයිප් කිරීමට සිදු විය. ඔවුන්ට ඒ සඳහා පුහුණුවක් ලැබී හෝ අවශ්‍ය තාක්ෂණය නොතිබුණි.
පාඩම්වලට සහභාගි විය නොහැකි ශිෂ්‍යයන් වෙනුවෙන් ඒවා පටිගත කිරීම බොහෝ කථිකාචාර්යවරුන් ආරම්භ කර තිබේ. අධ්‍යාපන ක්‍රමවේදය මගින් එක් ශිෂ්‍යයෙකුවත් අත්හැරිය නොහැකි බව සඳහන් කළ ඇය පැවසුවේ “දේශනවලට සහභාගි වීමේ අයිතිය සෑම ශිෂ්‍යයෙකුටම තිබෙන” බවය.

“ශිෂ්‍යයන්ට ලැබිය යුතු අයිතිවාසිකම් තිබෙනවා. ඒවා අහිමි වීමෙන් ඔවුන් තුළ අමනාපයක් ඇති විය හැකියි. එමෙන්ම සමාන අයිතිවාසිකම් හිමි නොවූ පරම්පරාවක් බිහි වීම විශාල සමාජ ආර්ථික පසුබෑමකට හේතු විය හැකිය” කියා ඇය අනතුරු ඇඟවීය. “මෙම කාරණා සලකා බැලීමේදී වඩාත් හොඳ දෙය වන්නේ යම් කලක් ඉවසා සියලුදෙනාටම එකවර පාසැල් ආරම්භ කිරීම” බව ඇගේ අදහසය.
“කොහොමනමුත් අපේ අධ්‍යාපන ක්‍රමය වැඩිදියුණු කිරීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. පැරණි අධ්‍යාපන ක්‍රමයම තවදුරටත් අනුගමනය කිරීම අවශ්‍ය වන්නේ නැහැ. වයිට්බෝඩ් එක සහ කොපි පොත පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයෙන් බැහැර වීම අත්‍යවශ්‍යයි” ඇය තවදුරටත් පැවසුවාය.

බොහෝ පවුල් මුහුණ දෙන්නේ අධ්‍යාපනයද නැත්නම් ආහාර වේලද කියා තීරණයක් ගැනීමට සිදු වන තත්වයක බව යාපනය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ කථිකාචාර්ය මහේන්ද්‍රන් තිරුවරන්ගන් මහතා පැවසීය. සමහර පවුල් සතුව එක් ඉලෙක්ට්‍රෝනික උපාංගයක් තිබුණද ඔවුන්ට සිදු කිරීමට බොහෝ කාර්යයන් තිබේ. එනම් දරුවන් කිහිපදෙනෙකුට අධ්‍යාපනය ලබා දීමට සහ දෙමාපියන්ට නිවසේ සිට රැකියාවේ නිරත වීමට යන මේ සියලු කාර්යයන් ඉටු කරගැනීමට එක් ඉලෙක්ට්‍රෝනික උපාංගයක් ප්‍රමාණවත් නොවේ.
අධ්‍යාපන ක්‍රමවේදය පන්තිකාමරයේ සිට නිවසට අවතීර්ණය වීමේදී සමානාත්මතාවය නැති විය හැකි බව ඔහු පවසයි. මෙවැනි රටක නිදහස් අධ්‍යාපනය සහ ඩේටා යනු සුඛෝපබෝගී දේවල් බවට පත් වීමටද ඉඩ ඇත.

(Sunday Observer - Tharushi Weerasinghe ලිපිය ඇසුරිනි)
එස්. දහනායක
[May29, 2020 - Gossiplankanews.com]