මිනිස් ශරීරයක සාමාන්‍ය උෂ්ණත්වය ලෙස පිළිගැනෙන්ගේ ෆැරන්හයිට් අංශක 98.6 වුවද එක්සත් ජනපදයේ සිටින 1.6%ක් අවුරුදු 150ක් පුරා එම මතය ප්‍රතික්ෂේප කර ඇති බව මෑතකදී සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි විය. මෙම උෂ්ණත්ව වෙනසට හේතුව නවීන පරම්පරාව ගෙවන සැප පහසු ජීවන රටාව බව ඇතැම් සමීක්ෂකයන්ගේ අදහසය.
“සෑම පුද්ගලයෙකුම ඉගෙනගෙන තිබෙන්නේ මිනිසුන්ගේ සාමාන්‍ය ශාරීරික උෂ්ණත්වය 98.6 F බව වුවද එය නිවැරදි අගයක් නොවේ” කියා ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඖෂධ සහ සෞඛ්‍ය අධ්‍යයන පිළිබඳ මහාචාර්ය වෛද්‍ය ජූලි පාසනට් විසින් ප්‍රකාශ කරන ලදි.
මිනිසෙකුගේ සාමාන්‍ය ශාරීරික උෂ්ණත්වය 98.6 F බව ජර්මානු
වෛද්‍යවරයෙක් විසින් ප්‍රකාශ ‍කරන ලද්දේ 1851 වර්ෂයේදී වන අතර එය ප්‍රකාශ කරන ලද්දේ එක් නගරයක ජීවත් වන රෝගීන් 25,000ක් ඇසුරිනි.

මෑතකදී සිදු කරන ලද පරීක්ෂණයට සහභාගී වූ සමීක්ෂකයන් විසින් ශරීර උෂ්ණත්වය සටහන් කර තිබෙන වෛද්‍ය වාර්තා කට්ටල තුනක් ඉදිරිපත් කර තිබේ. එක් කට්ටලයකට 1862 සිට 1960 දක්වා සිවිල් යුද්ධයට සහභාගී වූ පුද්ගලයන් 23,710කගේ වාර්තාද තවත් කට්ටලයකට 1971 සිට 1975 දක්වා කාලය තුළ ජාතික සෞඛ්‍ය සහ පෝෂණය පිළිබඳ සොයා බැලීමකට අයත් පුද්ගලයන් 15,301කගේ වාර්තාද අයත්ය. තුන්වෙනි කට්ටලයට අයත් වන්නේ 2007 සිට 2017 දක්වා ස්ටැන්ෆෝඩ් සෞඛ්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණි වැඩිහිටියන් 150,280දෙනෙකුගේ වාර්තාය.

මේ අනුව වර්ෂ දෙදහස් ගණන්වල උපත ලැබූ පුරුෂයන්ගේ අවම ශරීර උෂ්ණත්වය වර්ෂ එක්දහස් අටසිය ගණන්වල මුල් භාගයේ උපත ලැබූ පුරුෂයන්ගේ ශරීර උෂ්ණත්වයට වඩා ෆැරන්හයිට් 1.06ක් අඩුය. එමෙන්ම වර්ෂ දෙදහස් ගණන්වල උපත ලැබූ කාන්තාවන්ගේ ශරීර උෂ්ණත්වය වර්ෂ 1800 ගණන්වල අගභාගයේ උපත ලැබූ කාන්තාවන්ගේ ශරීර උෂ්ණත්වයට වඩා ෆැරන්හයිට් 0.58කින් අඩුය.
පොදුවේ පිළිගත් සාමාන්‍ය ශරීර උෂ්ණත්ව මිණුම නිවැරදි නොවන බව පළමු වරට සොයාගත් පරීක්ෂණය මෙය නොවේ.

1935 සහ 1999 අතර කාල සීම‍ාව තුළ සිදු කළ අධ්‍යයන සලකා බලා 2002 වර්ෂයේදී සොයාගනු ලැබුවේ මිනිස් ශරීරයේ සාමාන්‍ය අවම උෂ්ණත්වය පොදුවේ පිළිගත් උෂ්ණත්වයට වඩා අඩු බවය. කාන්තාවන්ගේ ගුදීය උෂ්ණත්වය (වඩාත් නිවැරදි උෂ්ණත්වය ලබාගත හැකි වන්නේ මේ ආකාරයට බව පොදුවේ පිළිගැනේ) 98.2 F සිට 98.8 F වූ අතර පුරුෂයන්ගේ එම උෂ්ණත්වය 98.1 F සිට 99.5 F අගයන් ගන්නා ලදි. නමුත් වර්ෂ 2017දී වයස අවම 52.9ක බ්‍රිතාන්‍ය ජාතික පුරුෂයන් සහ ස්ත්‍රීන් 35,488ක් යොදාගෙන සිදු කළ පරීක්ෂණයේදී ඔවුන්ගේ අවම උෂ්ණත්වය සටහන් වූයේ 97.9 F ලෙසිනි.

මෙසේ ශරීර උෂ්ණත්වය වෙනස් වීමට හේතුව කුමක්ද?

සමීක්ෂකයන් පවසන පරිදි මෙම වෙනස්කම්වලට හේතු වන්නේ අතීතයේදී භාවිත කළාට වඩා තාක්ෂණය අතින් දියුණු උෂ්ණත්වමාන නවීන දින භාවිත කිරීම නොවෙයි. එකම උෂ්ණත්වමාන භාවිත කළ අවුරුදු ගණනාවක් අතරතුර පවා මෙම උෂ්ණත්වය වෙනස් වීමේ ක්‍රියාවලිය දක්නට ලැබුණි.
සාමාන්‍ය ශරීර උෂ්ණත්වය ලෙස පැවති අගය මෙලෙස අඩු වීමට හේතුව ස්ථිර වශයෙන්ම නොදන්නා නමුත් මේ පිළිබඳව අධ්‍යයනය කරන පුද්ගලයෝ විවිධ අදහස් දක්වති.

පරිසරයේ උෂ්ණත්වය කෙසේ වෙනස් වුවද ශරීරය තුළ නියමිත උෂ්ණත්වය පවත්වාගෙන යෑමට සතුන්ට හැකියාව පවතී. ඊට වෙනස්ව මිනිස්සු වන අපි තාප අවශෝෂකයෝ වන්නෙමු. එම ක්‍රියාවලිය සිදු වන්නේ පහත පරිදිය. එනම් අප ලබාගන්නා ආහාරවල ඇති රසායන ද්‍රව්‍ය පරිවර්තනයට ලක් වී ශක්තිය නිපදවේ. පරිවෘත්තීය ලෙස හඳුන්වන එය මගින් ශරීර උෂ්ණත්වය ඇති කරයි. පරිවෘත්තීය අගය සහ ශරීර උෂ්ණත්වය ස්ත්‍රී පුරුෂ බව, ආහාර රටාව, ශරීර ශක්තිය, කාලය, පාරිසරික තත්වයන් සහ අසනීප හෝ උණ වැළඳීම මත තීරණය වේ.
වායු සමීකරණ භාවිතය හෝ තාපක භාවිතයද මෙහිදී සුළු බලපෑම් ඇති කර තිබෙන බව සමීක්ෂකයන්ගේ මතයයි. මෙම උපකරණ භාවිතය නිසා නොවෙනස් වන ශරීර උෂ්ණත්වයක් පවත්වාගෙන යෑමට ශරීරයට එතරම් ශක්ති ප්‍රමාණයක් වැය කිරීම අවශ්‍ය නොවන අතර ‍එ් හේතුවෙන් පරිවෘත්තීය ක්‍රියාවලිය අඩු අගයක් ගනී. පාසනට් මහත්මියගේ අදහස අනුව ඉහත සඳහන් කළ ක්‍රම ඔස්සේ නිතරම අවට උෂ්ණත්වය ෆැරන්හයිට් 64 සිට 72 ලෙස පවත්වාගැනීමද මෙයට හේතු විය හැකිය.

 අතීතයේ ජීවත් වූ මිනිසුන් එදා වේල සරි කර ගැනීමට ගොවිතැන් කටයුතු, ලී ඉරීම ආදි දුෂ්කර කාර්යයන්වල යෙදුණු නමුදු නව පරම්පරාව පැය ගණන් කාලය ගෙවන්නේ සැප පහසු ආසනවල හෝ කාර්යාල ආසන මතය. මෝටර් රථ සහ නවීන ක්‍රම නිසා ගමනාගමනයද සැප පහසුය. මෙම ක්‍රියාශීලී නොවන ජීවන රටාවද ඉහත කී උෂ්ණත්ව වෙනස් වීමෙහි ලා බලපානවා විය හැකි කාරණයක් බව ඒ මහත්මිය තවදුරටත් ප්‍රකාශ කළාය.

දිගින් දිගටම මෙලෙස ශරීර උෂ්ණත්වය අඩු වීමක් සිදු වේද යන්න  අප තවම නොදනී. එමෙන්ම ශරීරයට එමගින් සිදු වන හානියද මෙතෙක් අනාවරණය කරගෙන නැත. එනමුත් පාසනට් මහත්මිය පැවසුවේ, මූලිකම කාරණය, එනම් උෂ්ණත්වය මෙලෙස වෙනස් වීමකට ලක් ව ඇති බව අප දැන් හඳුනාගෙන සිටින බවය. එම නිසා මෙසේ සිදු වීමට මූලික හේතු මොනවාද යන්නත් එමගින් මිනිස් වර්ගයාට ඇති කරන බලපෑම කෙබඳුද යන්නත් අනාවරණය කරගැනීමට දැන් විද්‍යාඥයන්ට සහ වෛද්‍යවරුන්ට හැකියාව තිබෙන බව ඇගේ අදහසය.

(Robert Roy Britt විසින් Medium වෙබ් අඩවියට පළ කරන ලද තොරතුරු ඇසුරිනි)

එස්. දහනායක
[June01,Gossiplankanews.com]