සහ විශේෂයෙන්ම මේ දිනවල දවස ගත කරන විදිය ගැන කියන්න කාංචනා එක්වුණේ මේ විදියටයි.
•කාංචනා ඉතින්? කොහොමද?
වරදක් නැහැ. අද මම එදාටත් වඩා කාර්ය බහුල වෙලා. එදා මම කාර්ය බහුල වුණේ. රගපෑමත් එක්ක. ඒත් අද මම කිසි වෙලා ඉනෙ, අමන්ගේ චරිතය එක්ක. මේ මගේ වෘත්තිය නොවුවත්, අම්මා සහ බිරිඳ කියන භූමිකාව එක්ක අද මම කාර්ය බහුලයි. පුතාලා දෙන්නෙයි, දුවයි එක්ක, සෑහෙන වැඩ කොටසක් කරන්න තියෙනවා. ලොකු පුතාගෙ වයස අවුරුදු 11 යි. දෙවැනියා දුව. එයාට අවුරුදු 7 යි. බාල පුතාට අවුරුදු 3 යි. පාසල් තවම ඇරලා නැහැ. මේ දිනවල 'ඔන්ලයින්' මාර්ගයෙත් එයාලට උගන්වනවා. මේ විදියට තමයි එයාලා එක්ක කාලය ගෙවෙන්නෙ.
• කාංචනා කොහොමද මේ වසංගත තත්ත්වයට මුහුණ දෙන්නෙ?
ඇත්තටම කිව්වොත් මේ තත්වය එක්ක බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් වුණා. ජීවිතය ගැන බොහෝ දේ හිතන්න පුරුදු පුහුණු වුණා. ගෘහණියක් ලෙස මේ වගේ තත්වයකදී අරපිරිමැස්ම කළ යුත්තේ කොහොමද? අනවශ්‍ය දේට වියදම් කරන්නෙ නැතුව අවශ්‍ය දේට වියදම් කරන හැටි, සරලව ජීවත් වන විදිය, පවුලක් විදියට එකට එක්ව වැඩිපුර කාලය ගතකරන විදිය, ඇතුළු බොහෝ දේ ගැන ප්‍රායෝගිකව අත් විදින්න ලැබී තිබෙනවා. මට හිත්තෙන විදියට මෙච්චරකල් මිනිස්සු ජීවත් වෙලා තියෙන ජීවිතය ඕනෑවටත් වඩා සංකීරණ කරගෙන. ජීවිතය කියන්නෙ එහෙම දෙයක් නොවෙයි කියන පණිවුඩය මේ වසංගතය අපට කියා දුන්න දෙයක්. ඉදිරියේදී සරලව, ස්වභාවධර්මයට අනුව, ජීවත් වෙන්න වගේම ඊට වඩාත් ආදරය කරන්න කියන දේ මිනිස්සුන්ට වටහලා දුන්න සමයක්. හැකි විදියට තමුන්ටම වගාවක් කරගන්න කියන පණිවුඩය පවා අපට මෙයින් කියා දුන්න පාඩමක්.
•ඒ කියන්නේ කාංචනා දරු මල්ලෝ එක්ක එකතු වෙලා, වගා කටයුතු එහෙමත් කරනවාද?
පුතාලා හරි කැමතියි ඒ වැඩේට. ඒ වගේම ගෙදර එයාලා විසිතුරු මසුන් පවා ඇති කරනවා. ගහට-කොළට සතුනට ආදරය කරන්න ළමුන්ට අවකාශය ලබා දීම අපේ වගකීමක්. මේ ගොල්ලො එයාලට පුළුවන් විදියට පෝච්චිවල පැල දාලා වගා කරනවා. මල්වර්ග, එළවළු වර්ග එහෙම තියෙනවා. කැරට්, අල, මිරිස් එහෙම වගා කරලා තියෙනවා.
•ලොක්ඩවුන් නිසා, ඇවිදින්න යන්න එහෙම බැහැ නේද?
දැන් තරමක් ලිහිල් කරලා තියෙන්නෙ . නිවසක උද්‍යානයේ හය දෙනකුට වගේ එකතු වෙන්න පුළුවන්. ඒත් මීට පෙර පාරට යන්නත් අපට අවසර ගත යුතුව තිබුණා.
අපි ඉන්නෙ ලන්ඩන්වල, බුෂි (Bushey) පළාතේ. මේ පළාතට බොහෝ දෙනා ආසයි. කලබල නැති, සද්ද-බද්ද අඩු, මිනිස්සුන් හොඳ පරිසරයක්.
• ලොක්හවුන් නිසා කෑමබිම වල හිඟයක් එහෙම නැද්ද?
මේ වගේ වසංගත තත්ත්ව යකදී පොඩි දරුවන් සිටින මව්-පියන් ලෙස අපට දුර දක්නා නුවනක් තිබිය යුතුයි. ඒ නිසා අපි මේ තත්වය එලැඹෙන කොටම මාස ගණනකට මුහුණ දිය යුතු විදියට ඊට හැඩ ගැසුණා. කෑම ඕඩර් කරලා ගන්න, සහ සුපර් මාකට්, ග්‍රොසරිවලට ගෙදරින් එක් අයෙකුට යන්න පුළුවන්. අද වන විට පවුලට පැයක විතර ව්‍යායාම් කාලයක් සඳහා අවසර දීලත් තියෙනවා.
• එංගලන්තයේ තත්වය දරුණුයි කියා ප්‍රවෘත්ති තමයි නිතර අහන්න ලැබෙන්නේ?
මේක ලෝක වසංගතයක්. මම නම් හිතන්නෙ , රටින්-රටට අනුව මෙහි දිග පළල මනින්න යන එක හොඳ දෙයක් නෙවෙයි. හැමෝම මුහුණ දෙන වසංගතයක්. ඒ නිසා සංසන්දනය කිරීම කොහෙත්ම කළ යුතු නැහැ. මුළු ලෝකයම එකට, එක්වී ලෝකය ගොඩ නගන්න උත්සාහ ගත යුතුයි. අපි හැමෝම එක් ජාතියක්, එක් ලෝකයක් ලෙස සිතා මේ වසංගතය දුරු කරන්න අත්වැල් බැඳ ගැනීම තමයි කළ යුත්තෙ. මෙහේ ජාතික රෝහල් සේවාව, ඉතා කාර්යක්ෂම කැපව සිටිනවා. ඕනෑම වෙලාවක ඇම්බියුලන්ස් එක ගෙදරට මිනිත්තුවෙන් ළඟා වෙනවා. මේ කාලයේදී විතරක් නොවෙයි. ඕනෑම දවසක ඒ විදියයි. මේ වෙලාවේ ජනතාව හැටියට, ඕනෑම රටක ජීවත්වන අපට තියෙන ලොකුම වගකීම වන්නේ ආරක්ෂාවීමයි. විශ්වාස කරන්න, මාස තුනකින් අපි එළියටවත් ගියේ නැහැ. අපි ඒ විදියට සමාජ දුරස්ථභාවය තියාගෙන කටයුතු කරනවා.
• මේ වෙලාව කාංචනාට ඇතිවන හැගීම් මොන වන්ද?
මම හිතන්නේ මේ කිසිවක් ස්ථිර නැහැ, කියන පණිවුඩය ස්වභාවධර්මය විසින් අපට අපූරුවට කියා දුන්න මොහොතක් මේ. ඉස්සර බොහෝ දුරට ආගම දහම සිහි කරමින්, ගාථා කියමින් ගත කළ සමාජය නෙවෙයි මැතකදී අපට දක්නට ලැබුණේ, ෆේස්බුක් හෝ වෙනත් සමාජ අඩවියක තමයි තරුණ ජීවිත කාලය ගත කරන්නෙ. හැබැයි ඒ නිසා තාක්ෂණය දියුණු වුණාට මිනිසුන්ගේ සිත් දියුණු වුණේ නැහැ. දැන් නැවතත් මිනිසුන්ට සිත් දියුණු කර ගන්න ස්වභාවධර්මය ඉඩක් ලබා දීලා.
•කාංචනා අන්තිමට ලංකාවට ආවේ 2018 දී. එංගලත්තයේ සිට ලංකාව දිහා බලලා අද ඔබට මොනවද කියන්න පුළුවන්?
ලංකාව ගැන සතෝෂයි. මේ වසංගතය දුරු කරන්න හොද වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙන බව දකින්න ලැබෙනවා. ත්‍රිවිධ හමුදාවට සහ පොලිසිය මෙන්ම මහජන සෞඛ්‍ය සේවාවට සහ වෛද්‍ය මෙන්ම හෙද හෙදියන්ට මම හිස නමා ආචාර කරනවා. එදා ත්‍රිවිධ හමුදාව යුද්ධ කරලා, එයාලගෙ ජීවිත පරිත්‍යාගයෙන් රට රැකගත්තා. අද එයාලා මේ කෝවිච් එක මැඩ පැවැත්වීමට කැපවෙනවා. මම මගේ රටට වගේම ත්‍රිවිධ හමුදාවට හදවතින්ම ආදරෙයි.
සඳුන් ගමගේ
(සඳැල්ල -ලංකාදීප)