ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට මේ රටේ හැට නව ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ, "මයිලකටවත් අත තියන්න දෙන්නේ නැ ” යන ආකාරයෙන් ඇමතිවරුන්ට උද්ධච්ච ප්‍රකාශ සිදු කිරිමට නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (22) පැවසීය.

කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් "නගරාධිපතිගේ මයිලකටවත් අත තියන්න දෙන්නේ නෑ' යනුවෙන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා ඒ කරන ලද ප්‍රකාශය මම අනුමත කරන්නේ නෑ. අපේ පාර්ශ්වයේ කෙනෙක් වරදක් කරලා තියෙනවා නම්, එයාගේ මයිලකටවත් අත තියන්න දෙන්නේ නෑ” කියන උද්ධච්ච ප්‍රකාශ කරන්න නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රටේ ජනතාව ලක්ෂ හැට නවයක් ඡන්දය දුන්නේ.. ඒ උද්ධච්ච මෝඩ දේශපාලනය අතීතයට අයිති එකක්. ඒක වර්තමානයටවත්, අනාගතයටවත් අයිති. නෑ. ඒ පම්පෝරි ගහන දේශපාලනය වලංගු නෑ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. වරදක් කරලා නැත්තම් කවුරුවත් මයිලකටවත් අත තියන්න යන්නේ නෑ . වරදක් කරලා තියනව නම්නේ මයිලකට හරී අත තියන්නේ. ඒකට ඉඩ දෙන්නෑ කියලා කියන විදිය අහංකාර මත මම හිතන විදියට ලංකාවේ යල් පැනගිය දේශපාලනයට අයිති එකක්.

මම හිතන්නේ සමහර අපේ දේශපාලනඥයෝ තාම අප්ඩේට් නැහැ යාවත්කාලීන වෙලා නෑ. ඒකයි මෙතන තියෙන අවුල. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට ඡන්දය දුන්න මිනිස්සුන්ගේ අභිලාෂය තේරුම් අරන් ඒ අනුව තමන්ගේ චරිතය යාවත්කාලීන කරගන්න ඕන. යාවත්කාලීන කරගන්න බැරි අය, කල් ඉකුත්වෙන භාණ්ඩ බවට පත්වන එක නවත්ත ගන්න බෑ. කල් ඉකුත් වෙන දේශපාලනඥයන් බවට පත්වෙන එක වළක්වන්නෙ බෑ” යනුවෙන් කියා සිටියේය.