පිළියන්දල හැඩිගම බ්ලු වෝටර්ස් මාර්ගයේ කෙළවරට වන්නට බොල්ගොඩ ගඟෙහි මත්සයන් හිටිහැටියේ මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මේ හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් වහනය වී දැඩි සෞඛ්‍යය ගැටලු රැසක් පැනනැගී දැඩි අපහසුතාවකට පත්වී ඇතැයි ඔවුහු පවසති.

මියගිය මාළුන් කපුටන් රැගෙන යද්දී ළිංවලට වැටීමේ අවදානමක් පවතින බව ද ප්‍රදේශවාසීහු කියති.  මේ හේතුවෙන් ඒ ආසන්නයේ හෝටල් රැසක හිමිකරුවෝ ද දැඩි අපහසුතාවට පත්වී සිටිති.
විශේෂයෙන් මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන්නන් බොල්ගොඩ ජලාශයේ මත්සයින් අලෙවි කරන අතර එය ජන ජීවිතයට දැඩි තර්ජනයක් බව ප්‍රදේශවාසීහු පවසති.

මේ පිළිබඳව වගකිවයුතු බලධාරීන් දැනුම්වත් කළ ද පෙරේදා (21) සිට ඊයේ (22) සවස දක්වා කිසිඳු බලධාරියකු මේ පිළිබදව සොයා බැලීමට පැමිණියේ නැතැයි ඔහු වැඩිදුරටත් චෝදනා කරති. මේ පිළිබඳව අප කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මියගෙන් විමසීමේදී ඇය මෙසේ පැවසුවාය.

බොල්ගොඩ ගඟෙහි මසුන් මියගොස් ඇති බව මාධ්‍යයෙන් මාගෙන් විමසනතෙක් මා දැනගෙන සිටියේ නැහැ. වෙනත් කිසිදු පුද්ගලයකු ඒ පිළිබඳව මා දැනුවත් කළේත් නැහැ. එලෙස දැනුවත් කළේනම් මා සොයා නොබලා ඉන්නේ නැහැ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)