මේ දිනවල කොරෝනා දෙවැනි රැල්ලක අවදානම මතුව තිබේ. එම අවදානම මැද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කෝවිඩි19 වෛරසයේ වත්මන් තත්ත්වය ගැන
අදහස් දක්වා තිබේ. ඒ පහත පරිදිය.
කන්දකාඩුවෙන් සිදුවන කෝවිඩ් ව්‍යාප්තියේ ආරම්භය කොතැනද?

කන්දකාඩුවෙන් ව්‍යාප්ත වන කෝවිඩි රෝගීන් ලංකාවේ දෙවැනි රැල්ලක්ද, නැද්ද යන්න අපිට කියන්න අමාරුයි. මොකද කියනවා නම් කන්දකාඩුවේ පුනරුත්ථාපන කඳවුරට කෝවිඩ්19 රෝගය ව්‍යාප්ත වුණේ කොහොමද කියන එක තවම කියන අපහසුයි. අපිට සැක තියෙන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුනරුත්ථාපනයට යොමු කර සිටින අයෙකු බැලීමට පැමිණි අයෙක්ට රෝගය තිබිලා, කඳවුරේ අයට පැතිරෙන්නට ඇති බවටයි. නමුත් එය තහවුරු කරන්නත් පැහැදිලි සාක්ෂි නැහැ.

මෙහි ආරම්භය සිදුවූ ආකාරය අපැහැදිලි  නම් තත්ත්වය පිළිබඳ බැරැරුම්ව සිතිය යුතුයි නේද?

ආරම්භය කොතැනද කියන එක හොයාගන්න බැරි වුණාම අවදානම වැඩියි තමයි. නමුත් අපි කරන්න ඕන මොකක්ද කියන එකයි වැදගත්. ඒ අනුව අපිට කන්දකාඩු ආශ්‍රිතයන් සොයාගෙන හඹාගෙන යෑමක් කරන්න අවශ්‍ය වෙනවා. වසංගත රෝග අංශයට මීට පෙර මේ සඳහා විශාල සහයක් ලබාදුන්නේ අපේ රටේ බුද්ධි අංශයි. මේ වෙලාවෙත් අපිට ඔවුන්ගේ සහය ඉතාම වැදගත්. විශේෂයෙන් ඔවුන්ගේ දියුණු තාක්ෂණික මෙවලම් භාවිත කර ඉතාම කාර්යක්ෂමව මෙම රෝගීන්ගේ ආශ්‍රිතයන් සොයමින් කටයුතු කරනු ලබනවා. ඒ අනුව ඔවුන් ලබාදෙන දත්ත පද්ධතිය මේ අවස්ථාවේ ප්‍රයෝජනයට ගැනීම ඉතාම අවශ්‍යයි මේ රෝගයේ පැතිරීම පිළිබඳ පළමු සංඥාව ලබා ගැනීම වෙනුවෙන්. දෙවනුව යම්කිසි ආකාරයට කන්දකාඩු රෝගීන්ගේ ආශ්‍රිතයන් ස්පර්ශ කළ සියලුමදෙනාව ඉතාම කාර්යක්ෂමව පරීක්ෂණවලට ලක්කිරිම අත්‍යවශ්‍යයි. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂණ සිදු කිරීමේ ධාරිතාව අඩුම තරමේ දවසට තුන්දහසත්, හාරදහසත් මට්ටමට රැගෙන යා යුතුයි.

දෛනිකව පී.සී. ආර්. පරීක්ෂණ තුන්දහසකට වැඩියෙන් සිදුකරනවාට අමතරව එම වාර්තා ඒ දවස තුළම නිකුත් කිරීමේ හැකියාවත් රජයට තිබිය යුතුයි. ඒ අනුව මේ ධාරිතාව වැඩිකරගන්න සිදුකළ හැකි දේවල් කිහිපයක් අපි දකිනවා. ඒවා තමයි දැනට සිදුකරන පරික්ෂණාගාර තුළ මානව සම්පතේ අඩුවක් තිබෙනවා නම් ඒවා කාර්යක්ෂම කර ගැනීමට යෙදවුම් සිදුකිරීම. පරීක්ෂණවල වේගය වැඩිකර  ගැනීමට ලෝකයේ විවිධාකාරයේ තාක්ෂණික ක්‍රම භාවිත කරනවා. උදාහරණ විදිහට expansion වලට රොබෝ තාක්ෂණය භාවිත කරනවා. එනම් පරික්ෂණ සඳහා සාම්පල ලබාගැනීමට රොබෝ අත් නිෂ්පාදනය කර තිබෙනවා. ඒ වගේම ඉතාම ඉක්මනින් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන යන්ත්‍ර දැන් ලෝකයේ නිෂ්පාදනය කර තිබෙනවා.

මේවා අපේ රටට ගෙන ඒම සඳහා පෙරේදා ජනාධිපතිවරයා සමග තිබූ හමුවේදී සාකච්ඡාවට යොමු වුණා. විශේෂයෙන් ගුවන්තොටුපොළේදී විශාල සංඛ්‍යාවක් සංචාරකයන් පැමිණෙන්නට වුණාම ඔවුන්ගේ පරික්ෂණ සිදුකර ඒ මොහොතේන්ම ප්‍රතිඵල ගතහැකි යන්ත්‍ර පැවතීම ඉතාම අවශ්‍යයි. තුන්වැනුව පී.සී.ආර්. පරීක්ෂණවලින් රෝගය ඇති බවට තහවුරු වන පුද්ගලයන්  සිටින ප්‍රදේශ කලාප වශයෙන් ලොක්කවුන් කිරීම ඉතා වැදගත්. දැන් තිබෙන්නේ මාර්තු මාසයේ තිබුණු තත්ත්වය නොවෙයි. ඒ නිසා  අපිට මුළු රටේම සංචරණය සීමා කිරීම අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ ග්‍රාම සේවා කලාප හෝ ග්‍රාම සේවා කලාප කිහිපයක් එකතු කර ඔවුන්ගේ සංචරණ සීමා කිරීමයි. ඒ වගේම මේ සංචරණ සීමා පැනවීමේදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීම සිදුකළ යුතුයි. ඒ සඳහා රජය මැදිහත්වීම,  ප්‍රාදේශීය වශයෙන් සිටින නිලධාරීන් මැදිහත් වීම ඉතාම අවශ්‍යයි. ඒ වගේම මහජතාවත් දැනගත යුතුයි ජනතාවගේ සහය ලබාදෙන්නට. කලින් මුළු රටටම ඇදිරි නීතිය පනවා තිබූ ආකාරයට සමානව සංචරණය සීමා කළ කලාපවල ජනතාව උපරිම විනයක් ඇතිව හැසිරිය යුතුයි. එසේ නොමැති වුණත් ජනතාව අතර මේක වේගයෙන් පැතිරීලා ලොකු ව්‍යසනකාරී තත්වයක් කරා යා හැකියි.

සැක කරන පුද්ගලයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් සිදුකිරීම සිදුනොවන බවටත්, පරීක්ෂණ වාර්තා ලබාදීමට දින දෙක තුනක ප්‍රමාදයන් සිදුවන බවටත් චෝදනා එල්ල වෙනවා නේද?

අපි බැලුවොත් කෝවිඩ්9 වැලඳුණු රෝගියෙකු අද දිනයේදී ස්පර්ශ වුණා කියලා අපි අදම මේ පරීක්ෂණ සිදුකළොත් එය නිෂ්ඵලයි. සාමාන්‍යයෙන් අපිට දින තුනත් දහයත් අතර කාලයක් තුළ තමයි පරීක්ෂණ වාර්තා ඉතා හොඳින් පොසිටිව් බව පෙන්නුම්  කරන්නේ. මේ නිසා යම්කිසි දින ගණනක් ඔවුන්ව ස්වයං නිරෝධායනයට ලක්කරලා, රෝගීන්ද, රෝගීන් නොවේද යන්න බලා ගන්නට කාලයක් ගතකරන්නට සිදුවෙනවා. ඒ අනුව පළමු දිනයේ පරීක්ෂණ නොකර හතරවැනි දිනයේ හෝ හත්වැනි දිනයේදී පරීක්ෂණ කළ යුතුයි කියන නීතිය හදාගත  යුතුයි. විශේෂයෙන් පරීක්ෂණ කරන ක්‍රමවේදයට ප්‍රතිපත්තියක් සැකසිය යුතුයි. මෙය අපි මාස හතරක් තිස්සේ රජයට කියනවා. මේ ප්‍රතිපත්තිය හදන ලංකාවේ අයට දැනුමක් නැත්නම් විදේශ දැනුම හරි ගෙන්වාගත යුතුයි. ඒ අනුව පරීක්ෂණ සිදුකිරීමේ ප්‍රතිපත්තියට අනුකූලව හත්වැනි දවසේ  පරික්ෂණය සිදුකළ යුතු නම් ඒ දිනයේදී අනිවාර්යයෙන් පරීක්ෂණය සිදුකළ යුතුයි. එතෙක් ඒ පුද්ගලයා නිරෝධායනයේ යෙදවිය  යුතුයි. එවිට මේ නිරෝධායනයට යොමු කරන පුද්ගලයාටත් වගකීමක් තිබෙනවා නිරෝධායනයේ යෙදී සිටිය යුතු බවට.

රජය ඡන්දය නිසා තොරතුරු වසන් කරන තත්වයක් ඇති බවට මහජනතාව චෝදනා කරනවා නේද?
තොරතුරු වසන් කරනවාට වඩා තොරතුරු මාධ්‍ය වෙත ලබා දීමේ කාර්යක්ෂමතාවයේ ප්‍රශ්නයක් ඇති වූ බවක් තමයි පෙන්නුම් කෙරුණේ. පෙරේදා පැවැති හමුවේදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නා පාරදෘශ්‍යභාවය තබාගෙන තොරතුරු කඩිනමින් සිදුකරන්න කියලා. මොකද මහජනතාව මේ තොරතුරු ලබාගෙන බිය වීම නොවෙයි වැදගත්. වගකීමෙන් යුතුව කටයුතු කිරිමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තොරතුරු  නිල වශයෙන් මාධ්‍ය වෙතට කඩිනමින් නිකුත් කිරීමත්, එම තොරතුරු වගේම ඒ ප්‍රදේශවල රෝගය පැතිරීම පාලනයට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිවැරදිව උපදෙස් මාලාවන් නිකුත් කිරීමත් සැඟවීමකින් තොරව සිදුකිරීමේ අවශ්‍යතාව එහිදී සාකච්ඡා කෙරුණා.

මොකද ඡන්දයක් නිසා තොරතුරු සැඟවීමක් කරන්න ගියොත් තිබුණාට වඩා  බරපතළ තත්වයක් ඇති වී ඡන්දය පැවැත්වීම නතර වෙන්නත් පුළුවන්. මේ වෙලාවේ ඡන්දය නිසා තොරතුරු සඟවනවා නම් එය ඉතාම අනුවණ ක්‍රියාවක්. පුළුවන් තරම් පාරදෘශභාවයකින් යුතුව තොරතුරු ලබාදීලා මහජනතාව අදාළ උපදෙස් අනුව පෙළගැසීම සඳහා අවශ්‍ය කරන විනය පටිපාටි ක්‍රියාත්මක කිරිමයි වඩාත්ම යෝග්‍ය. මේ වෙලාවේ අනුවණ ලෙස කටයුතු කරලා තොරතුරු සැඟවුවවොත් රෝගය පාලනයකින් තොරව ව්‍යාප්ත වීමක් සිදුවේවි.

ජනතාව සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කිරීම ක්‍රමයෙන් අමතක කිරීම වර්තමාන තත්ත්වයට හේතුවී ඇති බවට සෞඛ්‍ය අංශවලින් චෝදනා එල්ල වෙනවා?

ඒ කාරණය සත්‍යයි. රාජාංගණයේ ව්‍යාප්තිය ගැන අපි බැලුවොත් මරණ ගෙදරට සහභාගි විය හැකි පුද්ගලයන් ගණන පිළිබඳ ලබා දී තිබූ නිර්දේශ ඉක්මවා ඔවුන් කටයුතු කර තිබෙනවා. ඒ වගේම මිනිස්සු මළ ගෙදරට ගියත් සෞඛ්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය කළා නම් මේ තරම් දුරට රෝගය පැතිරෙන්නේ නැහැ. අපි බැලුවොත් මේ අවස්ථාවේ කෝවිඩ් 19 රෝගය නිදහසේ පැතිරිලා තිබෙන්නේ ජනතාව සෞඛ්‍ය නිර්දේශ අනුගමනය නොකළ නිසයි. අනිත් එක තමයි රෝග ලක්ෂණ මතුවෙලා තිබුණ පුද්ගලයන් වගකීමෙන් තොරව හැම තැනම ඇවිදලා තිබීම. මේ සියල්ල බැලුවම පසුගිය දින කිහිපයේ අපේ රටේ මිනිස්සු කෝවිඩ් නිසා මැරුණේ නැහැනේ. ඒ නිසා මේ රෝගය භයානකයි කියන එක අපේ මිනිසුන්ගේ මතකයෙන් ගිලිහුණා. ඒ නිසා රෝගය බෝවුණාට කමක් නෑ වගේ හැගීමක් ඇතිවෙන්න ඇති.

ඒ වගේම මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය පිළිබඳ අවධානය යොමු කළාම මිනිසුන්ට මේ රෝගය පිළිබඳ දක්වන ආකල්පය බලපානවා. නමුත් රාජාංගණයේ ආර්ථික කටයුත්තකට නොවෙයි මළ ගෙදරකටයි ජනතාව රැස්වුණේ. එවිට ජනතාවගේ වෙනත් මානසික කාරණයි මෙතනට හේතු වුණේ. ඒ නිසා මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකරනවා ජනතාවටත් වගකීමක් ගන්න කියලා. ඒ අනුව දුරස්ථභාවය පවත්වා ගැනීම අවශ්‍ය කරන  මුහුණු ආවරණ පැලඳීම, අත් සේදීම කියන කාරණාවලට අමතරව කාර්යාලවල වැඩ කරන විට අංශ ලෙස වෙන්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව අපි දැක්කා. මොකද මේ දක්වා අපි බැලුවොත් එක් කඳවුරකට රෝගය ඇතුළු වුණාම එහි සිටින සියලුම දෙනාට රෝගය ව්‍යාප්ත වී ගියා. එයින් පෙන්නුම් කරන්නේ කාර්යාලයකට මේ රෝගය ගියොත් මුළු සේවා ස්ථානයේම සිටින පිරිසට ව්‍යාප්ත වෙන්නට පුළුවන් බවයි. ඒ නිසා අපි යෝජනා කළා සේවා ස්ථානවල අංශ අනුව වෙන්කර සේවකයන්ට කටයුතු කරන්නට අවස්ථාව සකස් කළ යුතුයි යන්න. එහෙනම් අපි බැලුවොත් ආයතනයක ගිණුම් අංශය, මානව සම්පත් අංශය, ආරක්ෂක අංශය, නිෂ්පාදන අංශය වන්ගේ අංශ රැසක් තිබෙනවා. අපිට පුළුවන් වෙන්න ඕන මේ අංශ අතර ගනුදෙනු කිරීම තාක්ෂණික ක්‍රමවේද අනුව සිදුකරන්න. ඒ අනුව දුරකථනය හරහා හෝ ඊමේල් පණිවුඩ හරහා අංශ අතර ගනුදෙනු කරන්න ක්‍රමවේදයක් සැකසිය යුතුයි.

එසේ නොමැතිව සියලුම දෙනා කාර්යාලයේ  හැම තැනම ඇවිදගොස්, පුද්ගලයන් හමුවී, මුහුණට මුහුණ කතාබහ කිරීම නොකළ යුතුයි. ඒ වගේම අපි තව ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කළා මහජනතාවගෙන් ඉල්ලීමක් කරන්න කියලා තමන්ගේ නිවසේ හැමෝටම පේන්න මම කෝවිඩි19 වෛරසය නිවසට රැගෙන නොයමි හා මම රෝගී වූ අවස්ථාවකදී කෝවිඩ්19 යැයි තහවුරු වුවත් නැතත් සමාජයට පැතින්ම වැළැක්වීම සඳහා නිවසෙන් පිටතට නොයමි යනුවෙන් වැකි අලවන්න කියලා.

ඡන්දයට පෙර සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීමේ අවශ්‍යතාවක් මතු වී තිබෙනවා නේද?

මේ සඳහා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. දැනට මේ ගැසට් එක සකස් කර අවසන්. එහි නීතිමය කාරණා ගැන නීතිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වෙනවා.

කන්දකාඩු ආශ්‍රිතයන්ගෙන් පිටස්තරවත්  රෝගීන් වාර්තා වුණාත් තත්ත්වය බරපතළ වෙනවා නේද?

මහජනතාව වගකීමෙන් ක්‍රියා කළොත් බය නොවී අපිට සිටිය හැකියි. අපි පසුගිය කාලය පුරාම කතා කළේ කෝවිඩ්19 ගැන. සමස්ත ශ්‍රී ලාංකිකයන්ම දැන් මේ වෛරසය ගැන දැනුවත්. මැලේරියාව, ඩෙංගු ගැන දැනුවත් බවක් නැති වුණත් ඕනම කෙනෙක් කෝවිඩ් ගැන දන්නවා. අපි එහෙනම් දැන දැන තමයි මේ ලෙඩේ බෝකර ගන්නේ. ඒ  නිසා තමන්ගේ ආරක්ෂාව, තමන්ගේ පවුලේ ආරක්ෂාව හා සමාජයේ ආරක්ෂාව ගැන මහජනතාව වගකීමෙන් කටයුතු කළොත් අපිට පසුගිය වාරයේ වගේම මර්දනය කරගන්නට හැකියාවක් තිබෙනවා. අහඹු පැතිරීම් ගැන ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් අපි වගකීමෙන් වැඩ කළොත් තත්වය පාලනය කරගත හැකියි. කෝවිඩ් පැතිරීම සම්බන්ධයෙන් පාර්ශව තුනක් වග කියන්න ඕනේ. ඒ රජය, සෞඛ්‍ය සේවය හා මහජනතාව. ඉතින් මජනතාව වගකීමෙන් කටයුතු නොකර අනෙක් පාර්ශ්ව දෙක මොනවා කරත් ඵලක් වෙන්නේ නැහැ.

සුව විරුවන්ට පසුගිය මාස කිහිපයේ සමාජයේ ඉහළ තැනක් ලබාදී තිබුණා.  නමුත්මේ සුව විරුවන් වැඩ කරන්නේ තමන්ගේ දීමනා පවා නොලැබෙන පසුබිමක ද?

අපි සුව විරුවෝ කියලා හැදින් වූවත්, නැතත්, අපි රෝග පාලනයේදී අපේ රාජකාරීන් නිසි ආකාරයෙන් සිදුකරමින් යනවා. අපි කෝවිඩ්19 වලින් අපේ රටේ මිය ගිය අය පිළිබඳව අධ්‍යයනය කර සකස් කළ වාර්තාවක් නිකුත් කළා. ඒ පරීක්ෂණ වාර්තාවට අනුව මියගිය අයගෙන් 96.2%ක්ම බෝ නොවන රෝගවලින් පෙළුණු අයයි. ඒ අනුව බෝවන රෝගයක් වන කෝවිඩ් 19 රෝගයෙන් මිය යන්නට පසුබිම සකස් කර තිබුණේ බෝ නොවන රෝගයි.

ඒ නිසා මහජනතාව බෝ නොවන රෝගවලින් ආරක්ෂ වීමත් ඉතා වැදගත්. එම නිසා දුම් බීම, මත්පැන් බීම යන ඒවායෙන් ඈත් වෙනවා වගේම පෝෂ්‍යදායී ආහාර, වසවිසවලින් තොර ආහාර ලබා ගැනීමත් අත්‍යවශ්‍යයි. අපි මේවා දිගින් දිගටම කියන  කාරණාවන්. ඒවායේ වැදගත්කම කෝවිඩ් වෛරසය හොඳින් මතුකර පෙන්වා දී තිබෙනවා. ඒ නිසා මහජනතාව මේ කාරණාවන්  වැදගත් ලෙස සලකා කටයුතු කරනවා නම් අපිට කෝවිඩ් 19 වෛරසය පමණක් නොවෙයි අනෙක් රෝග වළක්වා ගන්න පුළුවන්. ඒ  වගේම සුව විරුවෝ වන අපේ අයිතිවාසිකම් සහ අපේ දීමනා ලැබිය යුතු බව කියන ගමන්ම අපි කරගෙන යන වැඩකටයුතු මේ අවස්ථාවේ අඩාළ කරගන්නේ නැතිව සිදුකළ යුතුයි කියන එකත් මතු කරන්න කැමතියි. රටක් ලෙස බොහෝ අය තමන්ගේ දීමනා හා වැටුප් කප්පාදු මතයි ජීවත් වෙන්නේ. එය ලංකාවේ පමණක් නොවෙයි ලෝකේන්ම  වර්තමාන තත්ත්වය බවට පත්වී තිබෙනවා.  දියුණු රටවලත් වැටුප් කප්පාදු කර තිබෙනවා.

ඇතැමුන්ට අර්ධ වැටුප් හිමිවෙන්නේ. තවත් පිරිසකට රැකියා අහිමි වෙලා තිබෙනවා. මේ තත්වය තුළ අපි සියලු දෙනාම එකතු වෙලා රෝගයේ පැතිරීම අවම කර ගැනීමයි කළ යුත්තේ. එවිට ආර්ථිකය ගොඩගන්න පසුබිමක් අපිට සකස් කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. බෝවන රෝග හා බෝ නොවන රෝග කියන දෙකම වළක්වා ගෙන සියලු දෙනා පෙළගැසීම රටේ සුභසිද්ධිය ඇතිකිරීමක් ලෙසයි මම මෙය දකින්නේ.

-නදිශානි පතිරණ-