තංගල්ල, පට්ටියපොල පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය‍ෙ ආරක්ෂක අංශ සාමාජිකයෙකුට කොරෝනා වැළඳුණ බව වාර්තා වූයේ පසුගිය 09 වනදාය. ඔහු හා ආශ්‍රිතයින් ගැන තොරතුරු විමසා බැලීමේදී ඔහුගේ සම්බන්ධිත ලැයිස්තුව සැකසීම අතිශය දුෂ්කර හා සංකීර්ණ කාර්යයක් බවට පත්ව ඇති බව
දැනගන්නට ලැබේ.
ඊට හේතුව තංගල්ල සිය නිවසට නිවාඩු ගොස් සිට යළි පැමිණි ඔහු විශාල සැරිසැරීම ප්‍රමාණයක් සිදු කර තිබීමය. මොහු පසුගිය ජුලි මස 05 වෙනිදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්තානයේ සිට නිවාඩු ලැබ බස් රථයකින් කොළඹට පැමිණ ඇත. පසුව අධිවේගී මාර්ගය ඔස්සේ බස් රථයකින් මාතරට ගොස් තිබෙන අතර පසුව කතරගම බලා යන බස් රථයකින් තංගල්ල, පට්ටිපොළ සිය නිවසට ගොස් තිබේ.

ජුලි 06 සහ 07 යන දිනයන් හිදී  සිය නිවසේම කල් ගත කර ඇති බව කියූ ඔහු නිවසේම සිටියේ නැත.  අසල්වැසියන් රැසක් ඇසුරු කර තිබේ. මේ වනවිට ඔහුට මතක් කළ හැකි අය සොයා බැලීමේදී අසල්වාසී නිවස 09ක ජිවත් වන පුද්ගලයින්ට ඔහු නිසා  ස්වයං නිරෝධායනයට ලක්වීමට සිදුව ඇත.

ඔහුගේ පවුලේ සාමාජිකයින් 06 දෙනෙකු සිටින අතර ඔවුන්ද දැන් නිරෝධායනය සඳහා ගෙන ගොස් ඇත.

පසුගිය ජුලි 08 වෙනිදා තංගල්ල ධිවර වරායට ගිය ඔහු එහි සැරිසරා විවිධ අය හමුවී තිබේ. 09 වෙනිදා එහි පිහිටි රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගෙන ඇති බව බවසා ඇත.

පසුව ඔහු තංගල්ල සුපිරි වෙළදසැලකින් භාණ්ඩ මිලට ගෙන ඇති ඔහු තවදුරටත් නගරයේ ඇවිදිමින් රාජ්‍ය ඔසු සැලටද වෙළදසැල් කිහිපයකටද ගොස් ඇත. පසුව තංගල්ල බස් නැවතුම්පොළේ උඩු මහලට ඇතුල්වන ස්ථානයේ පිහිටි සැලුනයකින් කොණ්ඩය ද කපාගත් බව ඔහු සිනහසෙමින් පවසා ඇත.

කොණ්ඩය කොටට කපාගැනීමෙන් අනතුරුව යලි නිවසට පැමිණි ඔහු කන්දකාඩු බලායන්නේ එදා සවසය. ඒ තනිවම නොවේ. හමුදාවේ මිතුරන් කිහිපදෙනෙකුද හවුල් කරගෙනයි.
 ජුලි 09 වෙනිදා මධ්‍යස්ථානයේ PCR පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.
මෙම ආරක්ෂක අංශ සාමාජිකයා තංගල්ල නගරයේ ස්ථාන රැසක සංචරණය කොට ඇති බැවින් ඔහුගේ ආශ්‍රිතයින් අසීමිත වී ඇති අතර ඔහු හා සම්බන්ධවූ අය සොයන බව තංගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  වෛද්‍ය ජගත් ගජධීර දැනුම් දී තිබේ.