රැකියා විරහිත උපාධිධාරින්ට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ රැකියා සඳහා මුලින් තෝරා ගැනුණු උපාධිධාරින් 13000 ක පමණ නම් රැකියා ලබාදීමේ ලේඛනයෙන් ඉවත් කර තිබේ. දැනටමත්
පෞද්ගලික අංශයේ හෝ රාජ්‍ය අංශයේ හෝ රැකියාවක යෙදී සිටින හෙයින් එම උපාධිධාරිගේ නම් රැකියා ලබාදීමේ ලේඛනයෙන් ඉවත් කර තිබෙන බවද වාර්තා වේ. රජය මගින් ඉකුත් මාර්තු මස උපාධිධාරින් 50,000 කට රජයේ රැකියා ලබාදීම සඳහා පුහුණුවකට සහහාගි වන ලෙස දක්වමින් ලිපි නිකුත් කරන ලද නමුත් මහ මැතිවරණ සමයේ රජයේ පත්වීම් දීම මැතිවරණ කොමිසම විසින් තහනම් කරන ලද හෙයින් එම පුහුණු වැඩපිළිවෙළ නතර කිරිමට සිදුවිය.
නව රජය යටතේ කෙරෙන මෙම බඳවා ගැනීම් අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නැවත පුහුණුවට බඳවාගන්නා උපාධිධාරින්ගේ නාම ලේඛනයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති අතර මුලින් පුහුණුවට කැඳවූ ලිපි ලැබී තිබුණු උපාධිධාරින් 13,000 කට පමණ මෙවර ලිපි ලැබී නැතැයි වාර්තා වේ. පෞද්ගලික අංශයේ සහ ඇතැම් රාජ්‍ය ආයතනවල උපාධිධාරීන් වෙනුවෙන් රජය නොදුන් රැකියාවල නිරතව සිටි එම උපාධිධාරින් ඉකුත් මාර්තු මාසයේ දී පුහුණුවට ලිපි ලැබීම නිසා එම රැකියාවලින් ඉවත් කර ඇති අතර, තමන්ගේ නම් රැකියාලාභී නාමලේඛ්යානයෙන් ඉවත් කිරිම නිසා මෙම පිරිස් දැඩි අපහසුතාවකට පත්ව සිටිති. මේ පිළිබඳව කළ විමසුමක දී රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ රජය තීරණය කර ඇත්තේ රැකියා විරහිත උපාධිධාරින්ට පමණක් රජයේ රැකියා ලබාදීමට බවයි.
දැනටමත් රජයේ හෝ පෞද්ගලික අංශයේ කුමන හෝ මට්ටමක රැකියාවක නිරතවන්නේ නම් උපාධිධාරින්ට රජයේ රැකියා ලබාදීමේ නව වැඩපිළිවෙළට ඔවුන් ඇතුළත් කර නොගන්නා බවද ලේකම්වරයා කීය. ඉකුත් මාර්තු මාසයේ දී රජයේ රැකියා සඳහා පුහුණුවට කැඳවූ ලිපි නිකුත් කිරිමේ දී ඔවුන් රැකියාවක යෙදීසිටිම නොසැලකු අතර මෙවර ලිපි නිකුත් කිරීමේ දී සේවක ආර්ථසාධක අරමුදලින් හා සේවක භාරකාර අරමුදලින් තොරතුරු ලබාගත් බව ද රත්නසිරි මහතා කීය. ඒ අනුව මේ වන විටත් රැකියාවල නිරත වන උපාධිධාරින් පුහුණුවට නොකැඳවීමට තීන්දුවක් ගත් බවද ලේකම්වරයා පැවැසීය.
-රංජන් කස්තුරි-