මහත් ආන්දෝලනයට ලක්වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමටත් 20වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනඒමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ සඳහා අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබරි මහතා ඉදිරිපත් කළ කැබිනට් සාදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි තිබේ.
නව රජයේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (19) පෙරවරුවේ පැවැති අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ හා 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ කැබිනට් සංදේශය පළමු කැබිනට් රැස්වීමටම ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.  මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් පත්කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. විසිවන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ හා පාරිලිමේන්තුවේ එක් ධුර කාලයක කාල සීමාව වසර පහකට සීමා කෙරෙන අතර ජනාධිපතිවරයාට එම තනතුර දැරිය හැකි වාර ගණත මදකකට පමණක් සීමා කෙරේ.  මෙම වගන්ති දෙක 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයේ ද ඇතුළත්ව තිබිණි. ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීම නීති කෙටුම්පත් සම්පාදකවරයාට යොමු කිරීමට ද කැබිනට මණ්ඩලය තීරණය කර ඇත.

එම කෙටුම්පත නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට් ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.  දහනව වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒම රජයේ ප්‍රමුඛම කාර්යයක්  ලෙස සලකා සිදු කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. පසුගිය ආණ්ඩුව සමයේ ගෙන ආ 19 වන සංශෝධනයෙන් ජාතික ආරක්ෂාවට, ආර්ථික සංවර්ධනයට මෙන්ම රටේ සාමාන්‍ය  ජන ජීතයට ද දැඩි ලෙස බලපෑම් කර ඇති බැවින් එය වහා අහෝසි කළ යුතුය යන්න රජයේ අදහස වේ.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා විශාල  වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරිමත් මෙවර මහ මැතිවරණයේදී ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් හිමිවීමත් මත ව්‍යවස්ථා සංශෝධනය ප්‍රමුඛතම කාර්යයක් ලෙස සලකා කළ යුතුය යන්න රජයේ ස්ථාවරය වී තිබේ. මේ අතර ඕනෑම ආණ්ඩුවක් ව්‍යවස්ථා කරුණක් සම්බන්ධයෙන් විමසා බැලීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කළ බව බලශක්ති අමාත්‍ය කැබිනට් සම ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා ඊයේ 19 ප්‍රකාශ කලේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්බන්ධ ඕනෑම ලියවිල්ලක් හෝ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් විමසා බැලීමට එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත්කළ බවද හෙතෙම කීය. නව ආණ්ඩුවේ පළමු කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒ බව කීවේය.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස්, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරු එම කමිටුවේ සාමාජිකයෝ වෙති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත්කළ බවද ගම්මන්පිල මහතා කිවේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධ ඕනෑම වාර්තාවක් කෙටුම්පතක් හෝ වෙනත් ඕනෑම යමක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්  කෙරෙන්නේ මෙම කමිටුවේ නිරික්ෂණ සහිතව යැයි ද ඔහු කීවේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිම සඳහා විද්වත් කමිටුවක් පත්කිරීම වෙනුවෙන් ඊට අදාළ නම් යෝජනා කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයාට බලය දුන් බව ඔහු කීය.  ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන විද්වත් කමිටුවේ නම් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන බවද  හෙතෙම කීවේය..

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ආදී සාධනීය ලක්ෂණ රැකගැනීමටත් ජනාධිපති ධුර කාලය වසර පහක් දක්වා සීමාකිරීම  සහ ජනාධිපතිවරයාට ධුරය හැකි වාර ගණන දෙකක් ලෙස පවත්වා ගැනීමටත් අමාත්‍ය මණ්ඩලයේදී තීරණය කළ බවද ඔහු කීය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට අවශ්‍ය පූර්ණ බලතල ද අමාත්‍ය  මණ්ඩල රැස්වීමේදී අධිකරණ අමාත්‍යවරයාට ලබාදුන් බවද හෙතෙම  කීවේය. කැබිනට් ප්‍රකාශක ජනමාධිය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවාව යන මහත්වරු ද එක්ව සිටියහ.

-අජන්ත කුමාර-