COVID-19 වසංගතය හමුවේ සමස්ත ආසාදිතයන්ගෙන් තවදුරටත් ඉදිරියේ පසුවන ඇමෙරිකා එක්සත් ජනපදය සතුව මෙතෙක් පැවති වාර්තාවක් බිඳ හෙළමින්, නව වසංගතය ආරම්භයේ සිට ලෝකයේ ඕනෑම රටක් විසින් එදා මෙදා තුර දෛනිකව වාර්තා කර තිබූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඉන්දියාව වාර්තා කර තිබේ.

ඒ අනුව ඉන්දියාව ඊයේ 79457 හා පෙරේදා දිනයේ අවම වශයෙන් නව COVID-19 ආසාදිතයන් 78,761ක් වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. මීට පෙර එක්සත් ජනපදය
විසින් මෙම වාර්තාවට හිමිකම් කියන ලදී. බිලියන 1.3කට වඩා වැඩි ජනගහනයක් වෙසෙන ඉන්දියාව මේ වනවිට ලොව වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන එක්සත් ජනපදය හා බ්‍රසීලයට පසුව තෙවැනි ස්ථානයට පසුවන්නේ ආසාදිතයන් 3,542,733ක් සහ මරණ 63,498ක් සමගිනි.

එහිදී ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයන් ආශ්‍රිත පළමු වැනි මිලියනය වාර්තා වීමට මාස 5කට වැඩි කාලයක් ගත වුවත්, දෙවැනි මිලියනය දින 21කින් සහ තෙවැනි මිලියනය දින 16කින් වාර්තා වීම නොසලකා හැරිය හැකි තත්වයක් නොවන බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙයි.

ඒ අනුව, ඉන්දියානු ආසාදිතයන්ගේ මෙම වේගවත් ඉහළ යෑම අසල්වැසි දකුණු ආසියානු කලාපයේ රටවල පෙර සූදානම සිහිකැඳවීමක් බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි. එහිදී මුඛ ආවරණ පැලඳීම හා සමාජ දුරස්ථකරණය ඇතුළු නිසි සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද පවත්වාගෙන යෑමේ වැදගත්කම ඔවුන් අවධාරණය කර සිටියි.

- නරෙන් විශ්වජිත් -