වස දීමෙන් ඉන්දියාවේදී ඝාතනයට ලක්වූ බවට පැවසෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තා බලහත්කාරයෙන් තම ඉඩම් ලියා ගත්තැයි පවසමින් එම ඉඩම් හිමිකරුවන්ගෙන් මේ වනවිට පැමිණිලි තුනක් ලැබී ඇතැයි බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
එම පැමිණිලිකරුවන් මුල්ලේරියාව පොලිස් වසමේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. පර්චස් සීයකට අධික ප්‍රමාණයකින් යුත් ඉඩමක් කිසිඳු මුදලක් නොගෙවා බලහත්කාරයෙන් ලියා ගත් බවත්, පර්චසය රුපියල් ලක්ෂ තුනක් වටිනා ඉඩමක්, පර්චසයට රුපියල් ලක්ෂ දෙක බැගින් ලබාදී ලියා ගත් බව හා කෝටි හතරක් පමණ වටිනා ඉඩමක් ලක්ෂ අසූ පහක් දී ලියා ගත් බවත් එම පැමිණිලිවල සඳහන් වන බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.

ඊට අමතරව එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා නිවසක් සහිත ඉඩමක් රුපියල් ලක්ෂ 90ක් ලබාදී බලහත්කාරයෙන් ලියාගෙන ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවට පොලීසිය පවසයි. එම ඉඩම අංගොඩ ලොක්කාගේ අනියම් පෙම්වතිය බවට පැවසෙන අමානි ධනංජි මුකරියා නමට ලියාගෙන ඇති බවට විමර්ශනවලදී හෙළි වූ බව පොලීසිය පවසයි. ඊට අමතරව සහෝදරයාගේ නමට හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික සිම්බු සමන්ත ඇතුළු ගෝල බාලයන්ගේ නමටද එම ඉඩම් ලියාගෙන ඇති බව පොලීසිය පවසයි.

අංගොඩ ලොක්කා විසින් බලහත්කාරයෙන් අත්පත් කරගත් එම ඉඩම් අතර වගුරු ඉඩම් හා කුඹුරු ඉඩම්ද වන බව පොලීසිය පවසයි.  මේ අයුරින් ලක්ෂ 1600ක් පමණ වටිනා ඉඩම් අංගොඩ ලොක්කා විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

- බිමල් ශ්‍යාමන් ජයසිංහ -