පුතුන් දෙදෙනකුගේ උප්පැන්න සහතිකයට තම නම පියා වශයෙන් සඳහන් කිරීමට ඉඩ ලබාදීම සඳහා රුපියල් 3500ක් ඉල්ලා සිටි අපූරු පියකු පිළිබඳ පුවතක් උහන පොලිසියෙන් වාර්තා වේ.  උහන පොලිසියේ පැවැති පිය පුතු ආරාවුලක් සම්බන්ධ පැමිණිල්ලක් විභාග කිරීමේ දී
මෙම සිද්ධිය හෙළි වූ බව එම පොලිසියේ නිලධාරියෙක්  පැවසීය. උප්පැන්න සහතිකයට පියා ඔහුගේ නම නොදුන් නිසා තමන්ට සහ අයියාට පාසල් යාමට පවා නොහැකි වූ බවත් ඒ නිසා පොල් කඩා ජීවිකාව ගෙන යන බවත් පැමිණිලි විභාගයට කැඳවා තිබු එක් පුතකු පවසා සිටීයේ යැයි ද එම නිලධාරියා සඳහන් කළේය. උප්පැන්නයේ සඳහන් කිරීමට පියා ඔහුගේ නම ලබා නොදුත් තමන් සහ තම සහෝදරයා ඔහුගේ නොවන බව පවසමින් බව පැමිණිලි විහාගයට කැඳවා තිබූ පුතා පවසා ඇත. දරු දෙදෙනා තමන්ගේ නොවන බවත් ඒ නිසා තම නම  උල්පැන්නයේ සඳහන් කිරිමට ඉඩ නොදුන් බවත් 34 හැවිරිදි පියා පැමිණිලි විභාගයේ දී පවසා සිටියේ යැයි පොලිසිය කියයි.

අවශ්‍ය නම් දැන් තමාගේ නම පිතෘත්වය දරු දෙදෙනාට  ලබාදිය හැකි බවත් එහෙත් ඒ සඳහා රුපියල් 3,500 ක මුදලක් දරු දෙදෙනා ගෙවිය යුතු බවත් 74 හැවිරිදි පුද්ගලයා මෙහිදී පවසා ඇතැයි කියති.  තම බාල පුතා තමාට පහර දෙන බවට මෙම 74 හැවිරිදි  පුද්ගලයා උහන පොලිසියට කර තිබූ පැමිණිල්ලක් මත පියා පුතු දෙදෙනා පැමිණිල්ල විභාග කිරීමට පොලිස් ස්ථානයට වෙත ඉක්තුදා (15) කැඳවා තිබූ අවස්ථාවේ දී මෙම කරුණු හෙළිවිය. පැමිණිල්ල විභාග කරනු ලැබුවේ උහන පොලිස් ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතා විසිනි.

පියා කරගෙන එන අශෝභන ක්‍රියාවකින් මුදා ගැනීමට ඔහුට බැණ තර්ජනය කළා මිස පහරදීමක් නොකළ බව පැමිණිල්ල විභාග කිරීමට කැඳවා තිබු පුතා ප්‍රකාශ කළ බව පොලිසිය කීය.  තමා සහ අනෙක් සහෝදරයා තමන්මගේ නොවන බව පවසා උප්පැන්න සහතිකය ලබා ගැනීමට ඔහුගේ පියාගේ නම දීම ප්‍රතික්ෂේප කිරීම නිසා අදටත් තමන්ට උප්පැන්න සහතික ලබා ගැනීමට නොහැකි බව එම පුතා පොලිසියට පවසා ඇත.  උප්පැන්න සහතික නොමැති නිසා පාසල් යාමට නොහැකි වූ බවත් මේ නිසාම තමාට සහ සහෝදරයාට ජාතික හැඳුනුම්පත් පවා ලබා ගැනීමට නොහැකි වූ බවත් පැමිණිල්ල විභාගයට කැඳවා තිබු පුතා පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ වැඩිදුරටත් පවසා තිබෙන බව කියති. මෙම පුද්ගලයා කසිප්පු පානය කිරිමට තදින්ම ඇබ්බැහී වී සිටින අයකු බව පැමිණිලි විභාගයේ දී පොලිසියට පෙනී ගොස් දරු දෙදෙනා සමග එක්ව ජීවිතයේ ඉදිරි කාලය යහපත් අන්දමින් ගෙවා දමන ලෙස 74 හැවිරිදි පුද්ගලයාට තරයේ අවවාද කළ පොලිසිය පියාට හොඳින් සලකන ලෙස දරුවන්ට ද අවවාද කර පැමිණිලි විභාගය අවසන් කර ඇත.
-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය-