කොළඹ ප්‍රධාන බන්ධනාගාර හතරේ ආරක්ෂාව සඳහා භටයන් 150 දෙනකුගෙන් සමන්විත පොලිස් විශේෂ කාර්ය බළකා (S.T.F) අනුඛණ්ඩයක් ඊයේ (24) සිට යෝදවනු ලැබීය. පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව  මෙසේ යොදවනු ලැබ ඇත්තේ වැලිකඩ, මැගසින්, කොළඹ රිමාන්ඩ් හා වැලිකඩ කාන්තා අංශය
යන බන්ධනාගාර හතරටය. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා විධිමත් අයුරින් පොලිස් විශේෂ කාර්ය බළකා භට කණ්ඩායම් යෙදවුණු පළමු අවස්ථාව මෙයයි.

මේ බන්ධනාගාරවල පිටත ආරක්ෂාව රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් හා ඔවුන් රැගෙන එන ගමන් මලු පරික්ෂා කිරිම මෙම පොලිස් විශේෂ කාර්ය බළකා භටයන්ට පැවැරෙන රාජකාරිය බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පැවැසීය.  වැලිකඩ බන්ධනාගාර සමූහයෙන් බොහෝ අවස්ථාවලදී මත්ද්‍රව්‍ය, ජංගම දුරකතන, දුරකතන, සිම් කාඩ් පත් ඇතුළු තහනම් ද්‍රව්‍ය සොයා ගැනුණු බව කී ආරක්ෂක ලේකම්වරයා මේ ද්‍රව්‍ය බොහෝමයක් ඇතුළු වී තිබුණේ ඒවායේ ප්‍රධාන ගේට්ටුවලින් බවට තොරතුරු අනාවරණය වීම නිසා මෙම විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කළ බවද ප්‍රකාශ කළේය.

වැලිකඩ බන්ධනාගාර සමූහයේ ගේට්ටුවල විවිධ අක්‍රමිකතා රැසක් සිදුවී ඇතැයි තොරතුරු අනාවරණය වූ බවද ඔහු කීය. විශේෂ කාර්ය බළකායේ භටයන් රාජකාරියේ යෙදෙන සෑම ස්ථානයකම බුද්ධි අංශ නිලධාරියකු බැගින්ද යෙදවීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත. බූස්ස හා අගුණකොළපැළැස්ස බන්ධනාගාරවලආරක්ෂාව සඳහාද පොලිස් විශේෂ කාර්ය  බළකායේ භට කණ්ඩායම් කිහිපයක් මීට දින කිහිපයකට ඉහතදී යොදවනු ලැබූහ.  ගේට්ටුවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකා භටයන් යෙදවීමෙන් ඒ ටුවල ආරක්ෂාවට මෙතෙක් යොදවා සිටි බන්ධනාගාර නිලධාරින් බන්ධනාගාර ඇතුළත රාජකාරි කටයුතු සඳහා යොදවා ගැනීමේ හැකියාව ලැබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

පාතාලය, කුඩු උවදුර හා සංවිධානාත්මක අපරාධ මැඩීමට කප්පම් ගැනීම නතර කිරිමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශේෂ හා විධිමත් වැඩ පිළිවෙළක් අරඹා ඇති බවත් මෙම අපරාධ රටේ දිගටම සිදුවුවා නම් කිසිවකුටත් පාරේ බැහැල යන්න බැරි සෝමාලියාවේ වැනි තත්වයක් උදාවන බවත් ආරක්ෂක ලේකම්වරයා පැවැසිය.

-ජයන්ත සමරකෝන්-