
සිය මස්සිනාගෙන් රුපියල් ලක්ෂ පනහක කප්පම් ලබා ගැනීමේ අරමුණින් තමා කිසියම් කල්ලියක් විසින් පැහැරගත් බව අඟවමින් සිය බිරිඳට සහ මස්සිනාට දුරකතන ඇමතුම් ලබා දෙමින් අපූරු රංගනයක යෙදුනු සැකකරුවකු සහ ඔහුගේ සහායක යැයි කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසයි.
සිය සැමියා කිසියම් කල්ලියක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි ඔහුගේ බිරිඳ මොරටුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පරික්ෂණ ආරම්භ කළ බව පොලිසිය පැවසීය. කටුබැද්දේදී කළු පැහැති රියකින් කිසියම් කල්ලියක් විසින් පැහරගනු ලැබූ බව කියන සැකකරු පැහැර ගැනීමෙන් පැය එකහමාරකට පසු මොරටුවේ බස් නැවතුම්පොළට අතැර දමා තිබූ බව පොලිසිය පැවසීය.
එමෙන්ම පැහැරගෙන ගිය අවස්ථාවේ සිට දෑස බැඳ තිබූ බව දිගින් දිගටම පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇති ඔහුගෙන් පැහැරගත් රථයේ අංකය දුටුවේ ද යන්න නැවත විමසු විට ඔහු පවසා ඇත්තේ අංකය රඳවන ස්ථානයේ විදුලිය එළියක් නොවුයෙන් අංකය නොදුටු බවයි.
ඒ ඔස්සේ දිගින් දිගටම සිදුකරන ලද ප්‍රශ්න කිරීමේ දී සැකකරු ලබාදෙන පිළිතුරු පරස්පර විරෝධී වූයෙන් සියලු කරුණු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට පත් සැකකරු කටුබැද්ද දැව නිෂ්පාදන ආයතනයක කළමනාකරුවකු ලෙස සේවය කරන අයකු බව සඳහන් කරන පොලිසිය ඔහුගේ මස්සිනා වාපාරිකයකු බවද සඳහන් කළේය. අදාළ සැකකරු කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද සඳහන් කරන පොලිසිය ඔහු වයස අවුරුදු 35ක් පමණ වන පුද්ගලයකු බව ද පැවසීය. අදාළ කප්පම් සිද්ධියේ සහායකයකු ලෙස කටයුතු කළ පුද්ගලයා අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද පොලීසිය පැවසීය. සැකකරුවන් දෙදෙනා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ මොරටුව මූලස්ථාන පොලිස් පරික්ෂක ක්‍රිශාන්ත ලොකුගේ මහතාගේ අධීක්ෂණයෙන් මොරටුව පොලිසියේ වැඩබලන අපරාධ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල මහතා විසින් සිදුකරනු ලබයි.
- රේඛා තරංගනී ෆොන්සේකා -