බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින "පරෙයි සුදා" මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 75කට අධික මුදලක් බැකු ගිණුම්වල පවත්වාගෙන ගිය සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කොළඹ
අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුන්දෙණිය මහතා ඉදිරියේ ඊයේ (17) කරුණු වාර්තා කළේය. සැකකරුවන්ගේ බැංකු ගිණුම් වාර්තා අනුව මාස හතරක කාලයක දී මෙම මුදල සංසරණය වී ඇති බවට කරුණු අනාවරණය වන බවත්, අදාළ බැංකු ගිණුම්වල කොපමණ මුදල් ප්‍රමාණයක් සංසරණය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කරමින් සිටින බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. මෙම සිද්ධියට අදාළව මේ වන විට "පරෙයි සුදා" නමැත්තාගේ මව, මස්සිනා, නෑනා ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව ද පොලිසිය අධිකරණයට කරුණු සඳහන් කර ඇත.
කාරියප්පෙරුමගේ දොන් සහන් සංකල්ප නොහොත් "පරෙයි සුදා" නමැත්තාගේ සහෝදරයා වන “අමිල නන්දන” යන අය විසින් මෙම මහා පරිමාණ හෙරොයින් ජාවාරම මෙහෙයවනු ලබන බවත්, එහි සියලුම මුදල් ගනුදෙනු ඩුබායි රාජ්‍යයේ සිටින පුද්ගලයකුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බවට කරුණු අනාවරණය වී ඇති බවත් පෑලියගොඩ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව සිදුකරන පරික්ෂණයකට අනුව කෙරුණු විමර්ශනයක දී මෙම කරුණු අනාවරණය වී ඇති බවද පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. පෑලියගොඩ මල්වත්ත ප්‍රදේශයේදී හෙරොයින් කිලෝවක් සමග "පරෙයි සුදු" යන අය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී සහ දුරකතන වාර්තාවලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. පසුව එම සැකකරුවන් සියලු දෙනාගේම දුරකතන වාර්තා කැඳවීමෙන් අනතුරුව මෙම මහා පරිමාණ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය අධිකරණයට සඳහන් කර තිබේ.
මෙම සංවිධානාත්මක ජාවාරම් කල්ලිය මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම සිඳුකර විශාල වශයෙන් මුදල් උපයා ඇති බවත්, ඔවුන් උපයාගෙන ඇති මුදල් ප්‍රමාණය නිවැරදිව මෙතෙක් නිශ්චය කර නොමැති බවත් පොලිසිය අධිකරණයට සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන අතර මෙම සංවිධානාත්මක අපරාධය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ට අමතරව තවත් සැකකරුවන් රාශියක් අත්අඩංගුවට ගැනීමට සිටින බව ද පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.