ආනයනකරුගේ විස්තර සහ ලේබලයේ අඩංගු විය යුතු විස්තරය සඳහන් නොමැති රූපලාවණය ආලේපන හා දියර වර්ග අලෙවි කළ වෙළෙඳුන් 88 දෙනෙකු ඊයේ (19දා) පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සමඟ රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුත් ආලේපන හා දියර වර්ග අත්අඩංගුවට ගත් බවත්, මෙම පිරිසට අදාළ බලප්‍රදේශවල අධිකරණවල නඩු පවරන බවද එම අධිකාරිය පෙන්වා දෙයි.

අත්අඩංගුවට ගත් ආලේපන හා දියර වර්ගවලින් විශාල ප්‍රමාණයක් සම පැහැපත් වීම සඳහා භාවිත කරන ද්‍රව්‍ය බවත්, මෙවැනි ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ලේඛලය තුළ නිෂ්පාදිත දිනය කල් ඉකුත්වීමේ දිනය හා නිෂ්පාදකයාගේ නම ආනයනකරුගේ නම සහ අදාළ ද්‍රව්‍ය අඩංගු දෑ පිළිබඳ විස්තර තිබේද යන්න සොයා බලන ලෙසද පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ආනයනකරුගේ නම නිෂ්පාදකයාගේ නම නිෂ්පාදිත දිනය කල් ඉකුත් වීමේ දිනය ඇතුළු ලේබලයේ අඩංගු කරුණු සඳහන් නොකරන අලේපන ද්‍රව්‍ය හා දියර වර්ග අලෙවි කරන සියලුම දෙනාට නීති මඟින් කටයුතු කරන බවද පාරීභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි. මීට අදාළ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බවත්, ඊයේ (19දා) දිනය තුළදී පමණක් 88 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද එම අධිකාරිය පෙන්වා දෙයි.

- එච් අයි තුෂාර -