මෙම පිපිරුමෙන් තුවාල සිදු වූ ශ්‍රී ලාංකිකයින් තවත් සිටී දැයි තොරතුරු සොයමින් සිටින බවත්, ලේ දන් දීමකට හැර රෝහල් වෙත යෑම මේ වන විට තහනම් කර ඇති බැවින් සොයා බැලීම් සිදු කිරීම අපහසු වී ඇති බවද තානාපතිනිය පැවසුවාය.
කෙසේ වෙතත් තානාපති කාර්යාලයේ කිසිවකුටවත් පිපිරීමෙන් තුවාල සිදුවී නොමැති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
ශ්‍රී ලාංකිකයන් 25,000ක් පමණ ලෙබනනයේ සේවය කරන අතර එයින් වැඩි පිරිසක් ගෘහ සේවිකා රැකියාවල නිරත වූවන් බවද ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. බේරුට් අගනුවර ජබ්‍රාහිම් වරායේ පෙරේදා (04) සිදු වූ විශාල පිපිරීම හේතුවෙන් ඊයේ (05) දහවල් වන විට 100 දෙනෙක් මියගොස් සිටියහ. 4000ට අධික පිරිසක් තුවාල ලබා සිටිති. එරට රජය විසින් මේ වනවිට ලෙබනනයේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ලෙබනන් ජනාධිපති මිෂෙල් එවන් පැවසුවේ අපරික්ෂාකාරි ලෙස ගබඩාකර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750ක් එම පිපිරීමට හේතු වී ඇති බවය. එම පුපුරන ද්‍රව්‍ය තොගය වසර 6ක් පුරා එම ස්ථානයේ තිබී ඇති බවත් ආපදාවට පත් පිරිසට උපකාර කිරීමට ඩොලර් මිලියන 66ක් නිදහස් කිරීමට ලෙබනන් රජය තීරණය කර ඇති බවත් විදෙස් ප්‍රවෘත්ති සේවා සඳහන් කර තිබේ.
සහන සේවකයන් සුන්බුන් ඉවත් කරමින් සිටින අතර මරණ ගණන තවත් ඉහළ යා හැකි බවට අනුමාන කෙරේ.
- තිළිණි ද සිල්වා -