මත්පැන් කාලේ බෝතල් සහ විවිධ ද්‍රව්‍ය අඩංගු කුඩා ප්ලාස්ටික් බෝතල් හා ෂැෂේ පැකට් වලින් සිදුවන දැවැන්ත පරිසර හානිය  වළක්වා ගැනීම සඳහා ඉදිරියේදී ඒවා තහනම් කිරීමට හෝ ඒවා වෙනුවට විකල්ප හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. සෙසු ප්‍රමාණවල
මත්පැන් බෝතල් යළි ලබාගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නමුත් කාලේ බෝතල් එසේ ලබා නොගැනීම නිසා ඒවායින් පරිසරයට දැඩි හානියක් සිදුවන බව කී ඇමතිවරයා ඒවා යළි එකතු කිරීමේ
වැඩපිළිවෙළක් අරඹන්නැයි නිෂ්පාදන සමාගම්වලට දැනුම් දෙන බව ද සඳහන් කළේය. අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකදීය.

පරිසරයට මුදාහරින වීදුරු බෝතලයක් දිරාපත්වීමට වසර 300ක් 400ක් පමණ කාලයක් ගත වන බව ද ඇමතිවරයා පැවැසීය. එසේ නොකළහොත් ඉදිරි වසරක පමණ කාලයක් ඇතුළත මධ්‍යසාර කාලේ බෝතල් ලෙස අලෙවි කිරීම තහනම් කිරීමට පියවර ගන්නා බව ද ඇමතිවරයා කීවේය.  එමෙන්ම ෂැම්පු ආදිය අඩංගු ෂැෂේ පැකට් වෙනුවට වෙනත් විකල්පයක් හඳුන්වා දීමට හෝ ඒවාද තහනම් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
  -ඩයනා උදයංගනී