රැම්සා සම්මුතිය අනුව තෙත් බිමක් වශයෙන් ද ප්‍රකාශයට පත්කර ඇති පුත්තලම, ආනවිළුන්දාව අභය භූමියේ කොටසක් කිසියම් පිරිසක් විසින් ඉකුත් 25 වැනිදා රාත්‍රියේ ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් විනාශ කරනු ලැබ ඇත. ආනවිළුන්දාව අභය භූමියට අයතා මුතුපන්තිය, කාසන්වත්ත සීමාවේ කොටසක් මෙලෙස විනාශ කර
ඇති අතර ඉස්සන් කොටු සෑදීම සඳහා කිසියම් පිරිසක් විසින් මෙසේ කරන්නට ඇතැයි ප්‍රදේශවෑසීහු චෝදනා කරති. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්‍ෂ එරන්ද ගමගේ මහතා පැවසුවේ ආනවිළුන්දාව අභය භූමියේ සිදුකර ඇති විනාශය පිළිබඳව හලාවත දිසා අධිකරණයට ද කරුණු වාර්තා කර ඇති බවයි.

මෙම විනාශය සිදු කළ සැකකරුවන් හා යොදාගත් යන්ත්‍ර අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටින බව ද පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්‍ෂවරය සඳහන් කළේය.  ආනවිළුන්දාව පරිසර පද්ධතිය වනජීවී නීතිය  යටතේ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර රැ සම්මුතිය අනුව තෙත් බිම් පද්ධතියක්  ලෙස ද ප්‍රකාශයට පත්කර ඇතැයි ඔහු පැවසීය.

ඉකුත් 25 වැනිදා පස්වරු 4.30ට පසු කිසියම් පිරිසක් ඩෝසර් යන්ත්‍රයක් රැගෙන අභය භූමියට ඇතුළු වී මෙම විනාශය සිදුකර ඇතැයි ද එරන්ද  ගමගේ මහතා කීවේය. එම විනාශ කළ කොටසේ ශාක ස්ථර සම්පුර්ණයෙන් ඉවත් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. මීට පෙර ද මෙම පරිසර පද්ධතියට ඇතුළු වූ පිරිස් මෙවැනි විනාශයත් කර ඇති බව ඔහු කීවේය.  මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වයඹ පරිසර හඬ සංවිධානය නියෝජනය කරන පරිසරවේ දී අජිත් ගිහාන් මහතා පැවසුවේ උඩප්පුව ප්‍රධාන මාර්ගය ඔස්සේ මුතුපන්තිය වෙත ගමන් ගන්නා අතුරු මාර්ගයකින් මෙම ඩෝසර් යන්ත්‍ර ඇතුළු කරන්නට ඇතැයි සැක කරන බවයි.  මෙයට පෙර ද ආනවිළුන්දාව අභය භූමියට අවස්ථා ගණනාවක දී විවිධ පිරිස් ඇතුළු වී එහි කොටස් බලහත්කාරයෙන් අල්ලාගෙන ඉස්සන් කොටු සකසා ඇති බවයි. මෙම සිදුවීම් 2000 වසරේ හා ඉන් පසුව ද වාර්තා වී ඇති අතර ඒවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මකවීමත් සමඟ අදාළ පිරිස් එම ස්ථාන අතහැර ගිය බව ද අජිත් ගිහාන් මහතා කීවේය.

පරිසරය රැකගැනීම ගැන නිරන්තරයෙන් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම විනාශයට එරෙහිව නිසි පියවර ගනිමින් මෙම පරිසර පද්ධතිය ආරක්‍ෂ කර ගැනීමට කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂ කරන බව ද ඔහු සඳහන් කළේය. කිසියම් දේශපාලන සහයෝගයක් නොමැතිව අභය භූමියකට ඇතුළු වී මෙවැනි විනාශයක් කිරීම අපහසු බැවින් මේ පිටුපස කිසියම් දේශපාලන හස්තයක් ඇති බවට සැකයක් පවතින බව ද ගිහාන් මහතා පැවසීය. මෙසේ වනසා දැමූ කොටසේ නැවත කඩොලාන රෝපණය කිරීමට පරිසරවේදීන් හා වනජීවී නිලධාරින් එක්ව මේ වන විටත් පියවර ගෙන තිබෙන බව ඔහු කීවේය. ආනවිළුන්දුව අභය භූමිය හෙක්ටයාර් 1397 කින් සමන්විත අතර එය 2001 අගෝස්තු 3 වන දින ජාත්‍යන්තර රැම්සා සම්මුතිය අනුව තෙත් බිමක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබේ .

ප්‍රධාන වැව් තුනක් ඇතුළු අලංකාර වැව් පද්ධතියකින් සමන්විත ආනවිළුන්දාව දේශීය හා මෙරටට පැමිණෙන විදේශීය සංචාරක පක්‍ෂීන් වර්ග රැසක් වාසය කරන සුවිශේෂ අභය භූමියක් වන බව ද වනජීවී නිලධාරිහු පවසති. පුත්තලම-කොළඹ ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ආනවිළුන්දාව ප්‍රදේශයෙන් මෙම සුන්දර පරිසර පද්ධතියට නැරඹීමට පැමිණිය හැකිය. කිසියම් දේශපාලන සහයෝගයක් නොමැතිව අභ්‍ය භූමියකට ඇතුළු වී මෙවැනි විනාශයක් කිරීම අපහසු බැවින් මේ පිටුපස කිසියම් දේශපාලන හස්තයක් ඇති බවට සැකයක් පවතින බව ද ගිහාන් මහතා පැවැසීය.

-ඩයනා උදයංගනී-