බියගම පේරගස්හන්දිය මල්වත්ත පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි එක්දරු මවකට නිදියහනේදී පිහියෙන් ඇන ගෙල කපා පෙරේදා (24) ඝාතනය කර ඇතැයි බියගම පොලිසිය කියයි. මෙසේ ඝාතනය කර ඇත්තේ නදීකා කුමාරි
රත්නායක (39) නැමැති එක්දරු මවකි. ඇය පෙරේදා (24) පෙරවරුවේ සිය එකොලොස් හැවිරිදි දරුවා පාසල වෙත ඇරලවා පැමිණ නිවසේ තනිව සිට ඇති අතර ඇගේ ස්වාමියාද රැකියාවන් සඳහා පිටත්ව ගොස් ඇති බව පැවසේ. ඝාතනයට ලක්වූ කාන්තාවගේ දරුවා පාසල නිමවී නිවසට පැමිණි විට මව ඇඳ මත ඝාතනය කර තිබූ අයුරු දැක අසල්වැසියන් මාර්ගයෙන් පොලීසියට දැනුම් දී ඇත.
ඝාතනය සිදු වූ ස්ථානයට පෙරේදා (24) සවස පැමිණි මහර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් නිමල් පතිරණ මහතා මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වූ අතර, රාගම රෝහලේ සහකාර අධිකරණ වෛද්‍යවරුන් වන තනුශාන් මුතුලින්ගම්, නිරංග සේනාරත්න හා මලීෂ ජයසුන්දර මහත්වරු ඝාතනය වූ ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ කටයුතු සිදු කළහ. මහේස්ත්‍රාත්වරයාගේ නියමයෙන් දේහය පශ්චාත් වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා රාගම රෝහලට රැගෙන යන ලදී.
-සුදත් පුබුදු කිර්ති-