ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාති භේදය මුල් කරගත් අරගලයන් නැවතත් ආරම්භ වූයේ එරට පොලිස් නිළධාරීන් විසින් කළු ජාතිකයෙකුට නැවතත් වෙඩි තැබීමත් සමඟය. මේ හේතුවෙන් කෙනෝෂා නගරයේ
දිගින් දිගටම අරගල කළ ජනතාව තුන්වෙනි දිනයේත් තම විරෝධය ප්‍රකාශ කරනු දක්නට ලැබුණි. තුන්වෙනි දින රාත්‍රියේ මෙම අරගලය සමඟ හටගත් නොසන්සුන් වාතාවරණයක් අතරවාරයේ පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එමෙන්ම තවත් පුද්ගලයෙකුට තුවාල සිදු වී ඇති බවද වාර්තා වේ.

මෙම අරගල වර්ධනය වූයේ ජේකබ් බ්ලේක් නැමති 29 හැවිරිදි කළු ජාතිකයා පොලිස් වෙඩි ප්‍රහාර ගණනාවකට ලක් වී රෝහල්ගත කරනු ලැබීමෙන් අනතුරුව වන අතර උද්ඝෝෂකයින් දින ගණනාවක් විරෝධතාවල නිරතව සිටිනු දක්නට ලැබුණි. එම විරෝධතාකරුවන් හා ඉන්ධන පිරවුම්හලක ආරක්ෂාව සඳහා යොදවා සිටි සන්නද්ධ කණ්ඩායමක් අතර හටගත් ගැටුමක් දිගින් දිගටම වර්ධනය වීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේවෙතත් වෙඩි තැබීමෙන් අනතුරුව කෙනෝෂා නගරය තුළ රාත්‍රි කාලය පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට බළධාරීන් තීරණය කර ඇත.

මෙම ගැටුම අතරතුරදී තිදෙනෙකුට වෙඩි තබා ඇති බව එරට පොලිසිය සඳහන් කළද  එම සිද්ධියට සම්බන්ධ පිරිස පිළිබඳ නිශ්චිත විස්තරයක් ඔවුන් තවමත් ප්‍රකාශයට පත්කර නැත.
Rishmi Ishara