හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතී වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් වූ නඩුවට බොරු සාක්ෂි නිර්මාණය කර ගිනි අවි හඳුන්වාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවේ හිටි පොලිස් පරික්ෂක ඒඩ්‍රියන් නිශාත්ත සිල්වා මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (20) වරෙන්තු නිකුත් කළේය. අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාරව සංඥය නොවන වරදක් සම්බන්ධයෙන් යමෙකු අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාපටිපාටියට අනුව සහ කොළඹ අපරාධ කොට්ඨාසියේ ඉල්ලීමට අනුව මෙම වරෙන්තු නියෝගය කරනු ලබන බව සඳහන් කරමින් අධිකරණය එලෙස වරෙන්තු නිකුත් කළේය.
මේ වන විට මෙරටින් පිටව ගොස් ඇති බවට සඳහන් මෙම සිද්ධියේ තෙවැනි සැකකරු වූ මොහු යම් අවස්ථාවක දී මෙරටට පැමිණිය හොත් ඔහු රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදෙන ලෙසට ද ආගමන විගමන පාලකවරයා වෙත අධිකරණයෙන් තවත් නියෝගයක් නිකුත් කළේය. සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (20) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් වූ අතර, මෙහි සැකකරුවන් වූ අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා සහ ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ උපපොලිස් පරික්ෂක මෙන්ඩිස් යන නිලධාරීන් බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. මෙහි තෙවැනි සැකකරු වන ඒඩ්රියන්නිශාන්ත සිල්වා යන අය සම්බන්ධයෙන් වරෙන්තුවක් නිකුත් කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා සාක්ෂි කුඩුවට නැග සාක්ෂි ලබා දෙමින් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
අපරාධ පරීක්ෂණේ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයකු වූ නිශාන්ත ඒඩ්‍රියන් ද සිල්වා යන අය අංක 6869850 දරන ගුවන් ගමන් බලපත්‍රය මගින් ඉකුත් 2013 වර්ෂයේ නොවැම්බර් මස 24 වැනි දින දහවල් 12.50ට ස්විට්ස්ටර්ලන්තයේ සුරිච් නගරය බලා පිටත්ව ගොස් ඇති බවට ආගමන විගමන පාලකවරයා ලිඛිතව දන්වා ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය. පළමුවන සැකකාර ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ මෙම නඩුවට අදාළව ප්‍රකාශයක් ලබා දී ඇති පොලිස් පරීක්ෂක විල්ලවආරච්චි නමැත්තාව මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කරන ලෙසය. දේශපාලන හේතූන් මත මරණ දඬුවම නියම වී සිටින වාස් ගුණවර්ධන නමැති විත්තිකරුව බේරා ගැනීම සඳහා පොලිසිය අපක්ෂපාතීව කටයුතු කරන බවට ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
තවද 2013 වර්ෂයේ සිට මෙම සිද්ධියට අදාළ ලිපි ගොනු නීතිපති දෙපාර්තමේන්තුව හමුවේ තිබෙන බවත් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවන මෙම නඩුවට ඉදිරිපත් නොවී නීතිපති දෙපාර්තමේන්තුව මග හරින බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. දෙවැනි සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසයට බාර වීමෙන් අනතුරුව නඩුවට අදාළ ආයුධ ශානි අබේසේකරට අයත් ඒවා බවට ප්‍රකාශයක් ලබා දුන්හොත් නිදහස් කරන බව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙක් තම සේවාදායකට පවසා ඇති බවත් ඒ සම්බන්ධව තම සේවාදායකයා අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ද ලබා දී ඇති හෙයින් තම සේවාදායකයාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිසියට නියෝගයක් නිකුත් කරන ලෙසත් දෙවැනි සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
2013 වර්ෂයේ දී ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ නිවසක දර මඩුවකට ටී 56 ආයුධ සහ කිලෝ 05ක් බරැති ක්ලේමෝ බෝම්බයක් ඇතුළු ආයුධ තොගයක් ගෙනවිත් දමා එම ආයුධ දැතට මරණ දඬුවම නියම වී සිටිත හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන එම විත්තිකරුගේ පුතුන් දෙදෙනෙකු සහ බිරිඳ ඇතුළු අට දෙනෙකුට අයත් බව පවසමින් සාක්ෂි නිර්මාණය කර ව්‍යාජ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණය නොමග හැරිම සම්බන්ධයෙන් ශානි අබේසේකර සහ සුගත් මෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් බාරයේ පසුවේ. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන සැප්තැම්බර් මස 03 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.
-නිමන්ති රණසිංහ-