ව්‍යාජ ලෙස සකස් කළ නාග මාණික් දෙකක් රුපියල් කෝටියක මුදලකට අලවි කිරීමට සුදානම් වෙමින් සිටි යකැදුරෙකු අවිස්සාවේල්ල ලක්වත්තේදී ඊයේ (13) අත්අඩංගුවට ගත් බව සීතාවක කොට්ඨාස විශේෂ දූෂණ මර්දන අංශය කියයි.
වීදුරු ගල් දෙකක් ව්‍යාජ ලෙස සකස් කර නාගමාණික්‍ය දෙකක් ලෙස හුවා දක්වමින් එම යකැදුරා එය අලෙවි කිරීමට සූදානම්ව සිටි බවද පොලිසිය කියයි.

නාගයකු විසින් වමාරන ලද මාණික්‍ය දෙකක් ලෙස හුවා දක්වමින් එම වීදුරු ගල්කැට දෙක විකිණීමට සැලසුම් කළ බව ප්‍රශ්න කිරිමේදී සැකකාර යකැදුරා හෙළිකර ඇති බවද පොලිසිය පවසයි. සැකකාර යකැදුරා ව්‍යාජ මැණික් ගල් දෙකද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර චෝදනා ගොනුකර අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සීතාවක කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සමරපාල මහතාගේ උපදෙස් මත සීතාවක කොට්ඨාස පොලිස් විශේෂ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.ඩී.එස්. ෆොන්සේකා, පොලිස් පරික්ෂක වයි.ඩී.ඩී.එස්. දිසානායක, උපපොලිස් පරික්ෂක එච්.සී. කුලරත්න, කොස්තාපල්වරුන් වන 2389 ඒ.ජී. අමල්ක, 1044 ටී.සී.ඒ.සී. ඩයස් මහත්වරු වැඩිදුරටත් පරික්ෂණ පවත්වති.

- සෝමසිරි හිඟුරලආරච්චි -