COVID-19 ආසාදනය වීම හේතුවෙන් සිදුවන සෞඛ්‍ය බලපෑම දිගුකාලීනව පවත්නා බවට වන අදහස සත්‍යයක් බව අලුත්ම අධ්‍යයනයකින් අනාවරණය කරයි. බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් නුවර පිහිටි සවුත්මෙඩ් රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් විසින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ.


ඒ අනුව COVID-19 වසංගතය ආසාදනය වූ රෝගීන්ගෙන් තුන් කාලක් පමණ වන ප්‍රමාණයක් මාස තුනක් ගත වීමෙන් පසුව වුවත්, රෝග ලක්ෂණ සහිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව එම වෛද්‍යවරුන් පවසයි.

මෙම අධ්‍යයනයට යොමු කළ රෝගීන් 110 දෙනෙකු අතරින් 81 දෙනෙකුම තවමත් හුස්ම ගැනීමේ අපහසුතා, වෙහෙස සහ මස්පිඩු වේදනාව වැනි රෝග ලක්ෂණවලින් පෙළෙන බව ඔවුන් සඳහන් කරයි.

එසේම මෙම රෝගීන් බොහෝ දෙනෙකුටම 'දිගුකාලීනව පවතින කොරෝනා නිසා’ එදිනෙදා සිදු කරන සේදීම්, ඇඳුම් ඇදීම් හෝ නැවතත් රැකියා වෙත යාම වැනි අවස්ථා සාර්ථකව සිදුකර ගැනීමේ අපහසුතා උදාවී තිබේ. මීට අමතරව වෛරසය සුව වූ හත් දෙනෙකු අතරින් එක් අයෙකු තුළ පෙණහලු දුර්වලතා හඳුනාගෙන ඇත.

මේ අතර බ්‍රිතාන්‍ය රජයද නව කොරෝනාව නිසා ඇති විය හැකි දිගුකාලීන බලපෑම් පිළිබඳව අධ්‍යයනය සඳහා දැනටමත් පවුම් මිලියන 10ක මුදලක් වෙන්කර තිබේ. එසේම ඇතැම් විශේෂඥයන් මෙම තත්ත්වය මෙම පරම්පරාවේ පෝලියෝ තත්ත්වය ලෙසින්ද හඳුන්වා දී ඇත.