17 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකු කලක සිට අපයෝජනයට පත් කර ඇති 42 හැවිරිදි නර්තන ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම බාලවයස්කාර දරුවා දැඩි මානසික අපයෝජනයකටද ලක් වී ඇති බව එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

අදාළ සැකකරු 2019 වර්ෂයේ අග භාගයේ ක්‍රීඩාංගණයක පැවැති වෙස් මංගල්‍යයක පුහුණුවීම් කරන අතරතුර දිනක රාත්‍රී මෙම දරුවා ඔහුගේ කාරයේ නංවාගෙන කෑම ගෙන ඒම සඳහා ගිය බවත්, ඒ අවස්ථාවේ ඔහු දරුවා බරපතළ අපයෝජනයකට ලක්කර ඇති බවත් අනාවරණ වී ඇත.

තවද, මෙම සිද්ධියට පෙරද මෙම නර්තන ගුරුවරයා බාලවයස්කාර ළමයින් තිදෙනෙකු ඇතුළු 11 දෙනෙකුගේ කණ්ඩායමක් විදේශ රටකට සංචාරයක් සඳහා රැගෙන ගොස් ඇත. මෙහිදී සිදුකරන ලද විමර්ශනවලදී හෙළිව ඇත්තේ සංචාරය සඳහා සහභාගි වූ බාලවයස්කාර පිරිමි දරුවෙකුද අපයෝජනයට ලක් කිරීමට මෙම සැකකරු උත්සාහ කර ඇති බවයි.

පසුව එම ළමයින්ගේ භාරය වැඩිහිටි දරුවෙකුට පවරා එම නර්තන ගුරුවරයා ලංකාවට පැමිණ ඇත. එම දරුවන් ආපසු ලංකාවට පැමිණීමට ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ එම දරුවන්ගේ ගුවන් ටිකට්පත් අවලංගු වී තිබීම හේතුවෙන්, ඔවුන් ගුවන්තොටුපොළින් එළවා දමා ඇත. අනතුරුව එක් දරුවෙකු ඒ රටේ තානාපති කාර්යාලයට කතා කිරීමෙන් අනතුරුව තානාපති කාර්යාලයේ නිලධාරීන් පැමිණ දරුවන් තනාපති කාර්යාලයට රැගෙන ගොස් අවශ්‍ය සුභසාධන පහසුකම් ලබා දී සැකකාර නර්තන ගුරුවරයා ලවා නැවත ගුවන් ටිකට්පත් ගෙන්වාගෙන ළමයින් ලංකාවට එවීමට කටයුතු කර ඇත.

තවද මෙම සැකකාර නර්තන ගුරුවරයා මීට පෙර බාලවයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙකු යොදාගෙන අන්තර්ජාලය හරහා දැරියක් අපහසුතාවට පත් කිරීමකට සම්බන්ධ වී ඇති බවටද තවදුරටත් අනාවරණය කරගෙන ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු නීතිඥ සුජාතා අලහප්පෙරුම, අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන යන මහත්ම මහත්මීන්ගේ මඟපෙන්වීම යටතේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති එන්. කදිරගාමර් මහතා, කාන්තා උප පොලීස් පරික්ෂක චිත්‍රා නන්දනී මහත්මිය ඇතුළු අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සිද්ධියට අදාළව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලැබේ.

ළමයින් විවිධ විෂය සමගාමී කටයුතුවල යෙදවීමේදී සියලු දෙමාපියන් සහ වැඩිහිටියන් ළමයින් පිළිබඳ ඉතා අවධානයෙන් පසුවන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දෙමාපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් සහ සියලු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියි.