දිවයින පුරා විදුලි විසන්ධි වීමට විදුලිබල අමාත්‍යාං‍ශය වගකිව යුතු බවට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාවේ සඳහන් වන්නේ නම් තමා සිය අමාත‍‍්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කර සිටියේය.
පසුගිය සඳුදා දිවයින පුරා පැය 08කට අ‍‍ධික කාලයක් විදුලිය විසන්ධි වූ පසුවමේ පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ගේ උපදෙස් පරිදි පත්කළ කමිටුවක් පත්කරන ලදි එහි මූලික වාර්තාව හෙට (24) ලැබීමට නියමිතයි.
එම විදුලි බිඳ නැටීම සිදු වෙද්දී තමන් විදුලිබල අමාත්‍යවරයා බවට පත්වී ගතවූයේ පැය 96 ක් පමණක් බවත් කී ඇමතිවරයා තමන් ඒ වන විට දැන සිටියේ විදුලිය යනු ගෙදර මේන් ස්විච්චය හා ටි‍්‍රප් ස්විච්චය ලෙස පමණක් බවත් සඳහන් කළේය.
කෙසේ වෙතත් රටපුරා විදුලිය විසන්ධිවූ පසුව පැය 02 ක් ඇතුළත එය හරිගස්සන බවට ඇමතිවරයා දන්වා සිටි නමුත් පැය ගණනාවක් ඒ සදහා ගත විය. මේ හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ ඇමතිවරයාට උසුළු විසුළු සිදුවිය.
 මුළු දිවයිනටම විදුලිය විසන්ධි වීමට හේතුවූ කරුණ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි (සම්ප්‍රේෂණ) ආචාර්ය සුසන්ත පෙරේරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය කෙරුණු වැඩසටහනකදී කියා සිටියේ ප්‍රධාන විදුලි උපපොළේ නඩත්තු කටයුත්තක දී විදුලි අධිකාරිවරයෙකුගෙන් සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් මුළු දිවයිනටම විදුලිය විසන්ධි වූ බවයි.