අගෝස්තු 18 සිට දින 04ක් දිනකට පැය 01 බැගින් දිවයින පුරා විදුලිය විසන්ධි කෙරෙන බව විදුලිබල මණ්ඩලය අගෝස්තු 18 දින නිවේදනය කර තිබුණි.



එහෙත් එම විදුලි කප්පාදුව දින 3කින් අවසන් කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.ඒ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් මෙගා වොට් 300ක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමත් සමගයි.

ඒ අනුව අගෝස්තු 21 දිනයේ සිට දිවයිනේ විදුලි විසන්ධි කිරීමක් සිදුනොවන බව ද ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 900ක් සපයන අතර, පසුගිය දා සිදුවු විදුලි බිඳවැටීම හේතුවෙන් එම බලාගාරයේ ජනන යන්ත්‍ර ද ක්‍රියා විරහිත වී තිබූ බැවින් විදුලි කප්පාදුවකට යාමට සිදු වූ බව විදුලිබල මණ්ඩලය කියා සිටිනවා.

මේ අතර විදුලිය සැපයුම හදිසියේ අඩාල වීමට හේතු වූ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුවුනා. එම අනාවරණය සිදුකරමින් විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධීකාරි (සම්ප්‍රේෂණ) ආචාර්ය සුසන්ත පෙරේරා සඳහන් කළේ කෙරවලපිටිය විදුලි බලාගාරයේ නඩත්තු කටයුත්තක දී එය බාරව සිටි විදුලි අධිකාරිවරයෙක් අතින් සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් මුළු දිවයිනටම විදුලිය විසන්ධි වී ඇති බවයි. ඔහු කෙරවලපිටිය ග්‍රීඩ් උපපොළ බාරව සිටි හිටපු විදුලි අධිකාරිවරයා බව ද අනාවරණය කළා.

කෙසේ නමුත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ උපදෙස් පරිදි කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුවේ වාර්තාව එළැඹෙන අගෝස්තු 24 වැනි සඳුදා අමාත්‍යවරයා වෙත බාර දීමට නියමිතයි.