හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් විස්සක් රැගෙන වෑන්  රථයකින් ගමන් කිරීමට පැමිණි පුද්ගලයෙකු සහ එහි රියදුරු පෙරේදා (22) දක්ෂිණ  අධිවේගී මාර්ගයේ කහතුඩුව  පිවිසුමේදී අත්අඩංගුවට ගත් බව කහතුඩුව
දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්  විශේෂ පුහුණුව ලත් බීටා නිල සුනඛයා
ලබාදුන් සංඥාවක් අනුව මෙම සැකකරු අත්අඩංගුවට  ගෙන සිදු කළ පරික්ෂාවේ දී ඔහුගේ සාක්කුවේ සඟවා තිබූ මත්කුඩු හමු වූ බව පොලිසිය කියය. කහතුඩුව අධිවේගී පිවිසුමෙන් කළුතර බලා යාම සඳහා පැමිණි වෑන්  රථයේ සිවුදෙනකු සිට ඇති අතර ඔවුන් වෑන් රථයෙන් බස්සවා බීටා සුනඛයා ලවා වෑන් රථය පරික්ෂාවට ලක්කර ඇත.

අනතුරුව රියේ පැමිණි පුද්ගලයා පරික්ෂා කිරිම සඳහා සූදානම් වීමේ දී බීටා සුනඛයා එක් අයකු අසල වැඩි වේලාවක් රැදෙමින් ලබා දුන් සංඥාව අනුව එම පුද්ගලයා පරික්ෂා කිරිමේ දී ඔහු හැඳ සිටි කලිසමේ සාක්කුවේ තිබී මත්කුඩු හමුවූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා කහතුඩුව පොලිසියට බාර දී ඇත.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-