ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ශල්‍යාගාරයක වායුසමීකරණයේ කාන්දුවක් හේතුවෙන් සියලුම අක්ෂි ශල්‍යකර්ම සහ අස්ථි සම්බන්ධ ශල්‍යකර්ම කටයුතු සති තුනක පමණ කාලයක සිට මුළුමනින්ම නවතා දම්මට සිදුව තිබේ.


රෝහලෙහි හත්වැනි මහලෙහි ස්ථාපිත 'සී' ශල්‍යාගාරයේ ශල්‍යකර්ම සිදුකරනු ලබන ඇඳ මතට ප්‍රධාන ශල්‍යාගාර ලාම්පුව සහ විදුලි පේනු පුවරුව ඔස්සේ ජලය කාන්දු වීම මත ශලකර්ම සිදුකිරීම අනතුරුදායක තත්වයක් බැවින් ශලයකර්ම නවතා දමා ඇත. හදිසි අක්ෂි සහ අස්ථි ශල්‍යකර්ම සඳහා රාගම සහ කොළඹ ජාතික රෝහල වෙත රෝගීන් මාරු කර යැවීමට සිදුව ඇති බව අක්ෂි හා අස්ථි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දුන්හ.

අක්ෂි ශල්‍ය කටයුතු නතර වීම මත ඇසේ සුද ඉවත් කොට කාච දැම්ම ඇතුළු අක්ෂි ශල්‍ය පොරොත්තු ලේඛනයහි රෝගී සංඛ්‍යාව මේ වනවිට 1,800 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව පවසා සිටි අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ජේ.ඩී. ඩයස් මහතා, ප්‍රධාන ශල්‍යාගාර ඇඳ මතට ජලය කාන්දු වීමක් සිදුවන තත්වයක් මත ශල්‍යකර්ම සිදුකිරීම ඉතා අනතුරුදායක බැවින් කඩිනමින් ජල කාන්දුවට විසඳුමක් ලබා දියයුතුව ඇති බවද පැවසීය. රෝහලෙහි විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාර අල්මේදා මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ, ජීවානුහරණය කළ ශල්‍යාගාරයක ශල්‍යකර්ම කළ යුතුව තිබියදී ජල කාන්දුවක් පවතින ස්ථානයක ශල්‍යකර්ම සිදු කිරීම ජීවිත හානි පවා සිදුවිය හැකි දැඩි අනතුරුදායක තත්වයක් බවයි.

පවතින තත්වය සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පවසා සිටියේ, රෝහල් ගොඩනැගිල්ලෙහි මධ්‍යම වායුසමීකරණ පද්ධතියෙන් ජල කාන්දු වීමක් සිදුවන බැවින් මෙම පද්ධතිය අලුතින් යෙදීම පිණිස බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වාර්තා කොට ඇති බවත්, මේ සඳහා අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදුවෙමින් පවතින බවය.

වායුසමීකරණ පද්ධතිය කඩිනමින් සකස් කිරීම පිණිස ගන්නා ක්‍රියාමාර්ගය දැනගැනීම පිණිස ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකාව චන්ද්‍රානි සේනාරත්න මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට කිහිප වරක්ම උත්සාහ කළද එය ව්‍යර්ථ විය. මේ අතර රෝහලෙහි වෛද්‍යවරයෙකු තම නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටිමින් සඳහන් කර සිටියේ, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අට මහල් ගොඩනැගිල්ලෙහිද වසර 20ක පමණ කාලයක සිට ජල කාන්දුවක් පවතින බවත්, මෙම රෝහලෙහි පවතින අඩුපාඩු සපුරාලීමට බස්නාහිර පළාත් සභාවට නොහැකි බැවින් රෝහල, මධ්‍යම රජයට පවරා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නද, අදාළ සෞඛ්‍ය බලධාරින් සහ දේශපාලනඥයන්ගේ නිසි අවධානයක් මෙතෙක් යොමුව නැති බවද කනගාටුවෙන් වුවද ප්‍රකාශ කිරීමට සිදුව ඇති බවත්ය.