හක්මන කෝංගල පොලිස් මාර්ග බාධකයේදී නොහික්මුණු රියදුරකු විසින් ටිපර් රථයකින් හප්පා යට කිරිම නිසාම බරපතළ තුවාල ලබා දින 38ක් මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස්
සැරයන්වරයකු පෙරේදා (19 වැනිදා) රාත්‍රී ජීවිතක්ෂයට පත් වූ බව හක්මන පොලීසිය පවසයි. ඒ අනුව මෙම සිද්ධියෙන් මේ වනවිට  සැරයන්වරුන් දෙදෙනකුගේ ජීවිත අහිමිවී ඇතැයි පොලිසිය කියයි.  මෙලෙස මියගොස් ඇත්තේ ටිපර් රථයට යටකිරිම නිසා බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබමින් සිටි හක්මන පොලීසියට  අනුයුක්තව සේවය කළ අංක 10 අක්කර සියය වතුකොලකන්ද කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි තිදරු පියකු වන දොඩම්පහළ හේවාගේ දිලීප් (47) නමැති පොලිස් සැරයන්වරයෙකි.

මෙම සිද්ධියෙන් පොලිස් කොස්තාපල් මාලිත විතාරණ මහතා ඉකුත් ජුලි දහතුන් වැනිදා රාත්‍රී මාතර මහරෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය අතර පොලිස් සැරයන් 60818 පුෂ්පකුමාර මහතාද තුවාල ලබා සිටියේය. ජූලි දහතුන් වැනිදා රාත්‍රී කිරින්ද නගරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් දෙදෙනා විසින් රාත්‍රී එකොළහට පමණ මාතර දෙස සිට පැමිණි ටිපර් රථයකට නතර කිරීමට අණුකර ඇති අතර ටිපර් රථය අණ නොතකා ධාවනය කර ඇති බවත් එම නිලධාරින් මාර්ග බාධකයේ රාජකාරියේ නියුතු නිලධාරින්ට ටිපර් රථය පිළිබඳ පවසා ඇති අතර ඒ අනුව මාර්ග බාධකයේදී ටිපර් රථය නතර කර  පරික්ෂා කර තිබේ.

ටිපර් රථය පසුපස ලුහුබැඳ පැමිණි නිලධාරීන් දෙදෙනාද මාර්ග බාධකය අසලට පැමිණ රියැදුරාගෙන් ප්‍රශ්නකර රියැදුරු බලපත්‍රය පරික්ෂා කිරීමේදී ජූලි නව වැනි දින රිය අනතුරක් සිදුකිරීම නිසා  කොටවිල පොලීසිය මගින් රියදුරු බලපත්‍රය ලබාගෙන ඒ වෙනුවට නිකුත් කළ  තාවකාලික බලපත්‍රය ඉදිරිපත් කර ඇත. අනතුරුව රියැදුරු කළ වරදට දඩපතක් නිකුත් කර රියැදුරු මුදාහැරිමෙන් පසු ඔහු හක්මන දෙසට ගොස් විනාඩි දහයකින්ම පමණ හක්මන දෙස සිට පැමිණ ටිපර් රථය මාර්ග බාධකයේ හප්පා පොලිස් නිලධාරින්ද යටකරගෙන පලා ගොස් තිබූ අතර ටිපර් රථයේ රියැදුරු වන හුංගම පොලිස් වසමේ ලුනම උහපිටිගොඩ පදිංචි දිලීප් කුමාර එදිරිවීර නමැත්තකු මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවත් පොලිසිය සඳහන් කරයි. එම නඩුව  ඊයේ (20) දින කැඳවීමට නියමිත බවත් මියගිය පොලිස් සැරයන් දිලීප් යන අයගේ මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ 20 වැනි දින මාතරදී පැවැත්වීමට නියමිත බවත් පොලීසිය සඳහන් කරයි.

-යසන්ත ආරියසේන-