කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට මහා පරිමාණයෙන් මත්කුඩු බෙදා හැරීමේ නිරත වූ බව කියන කොළොන්නාව නගර සභාවේ වැඩ පරික්ෂකවරයකු ඇතුළු සිවු දෙනකු  රුපියල් කෝටියකට අධික මත්කුඩු
සමග අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය කියයි. සැකකරුවන් සමග මත්කුඩු කිලෝ 1යි  ග්‍රෑම් 110 ක්, සුඛෝපභෝගී මෝටර් රථයක්, ත්‍රිරෝද රථ දෙකක් ද, බැංකු පොත් 4 ක්, විද්‍යුත් තරාදියක් සහ මත්කුඩු එතීමට ගන්නා කඩදාසි තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත. සුබෝපභෝගී මෝටර් රථය සහ ත්‍රිරෝද රථ දෙක වැඩ පරික්ෂකවරයකුට අයත් ඒවා බව පොලිසිය කියයි.

පාදුක්ක පොලිස් වසමේ ප්‍රදේශ දෙකක දී මත්කුඩු මිලි ග්‍රෑම් දෙසීයක් සහ මත්කුඩු මිලිග්‍රෑම් තුන් සියයක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී එම ප්‍රදේශයට මත්කුඩු රැගෙන එන්නේ කොළොන්නාවේ පුද්ගලයකු බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකකරුවන් ලවා දුරකථන ඇමතුම් ලබාදී, මත්කුඩු ඇණවුම් කර, එම සැකකරු මත්කුඩු ග්‍රෑම් 10ක් සමග කොලොන්නාව වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අජිත් නිශ්ශංක මහතා පැවසීය.

පසුව එම පුද්ගලයාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය කරගත් තොරතුරු අනුව, කොළොන්නාව නගර සභාවේ වැඩ පරික්ෂකවරයාට එම සැකකරු ලබා දුරකථන ඇමතුමක් දී, මත්කුඩු ඇණවුම් කර මත්කුඩු ලබාදීම සඳහා කොලොන්නාව පොදු වෙළෙඳ පොළේ සැකකරුට අයත් වෙළඳසැලකට පැමිණි අවස්ථාවේදී වෙළඳසල වටලා සැකකරු අත්ලඩංගුවට ගත් බව පොලිසිය කියයි. අනතුරුව වෙළදසල පරික්ෂා කිරිමේදී මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 100 ක් සහ  මත්කුඩු එතීමට ගන්නා කඩදාසි තොගයක් ද පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව ස්ථානාධිපතිවරයා පැවසීය.

සැකකරු පදිංචි කොලොන්නාව අයි.ඩී. එච්. පෙදෙසේ සුබෝපභෝගී නිවස පසුව පරික්ෂා කිරිමේදී රුපියල් ලක්ෂ ගණන් හුවමාරු වූ බැංකු ගිණුම් පොත් හතරක් ද පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් කීය. මත්කුඩු ජාවාරමෙන් ඉපැයූ මුදලින් මිලදී  ගත් බවට සැක කරන සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථ 2 ක් පොලිස් භාරයට ගැනීමට කටයුතු කළ බව පොලිස් නිලධාරියා පැවසීය. සැකකරුවන් හතර දෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර මත්කුඩු ජාවාරමේ සැලසුම්කරු කවුදැයි හෙළි කර ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පාදුක්ක පොලිසිය කියයි.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-