දකුණු කොරියාව පසුගිය කාලයේදී කොරෝනා වෛරසය යම්තාක් දුරට එරට තුළ මැඩපවත්වා ගත්තද නැවතත් කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ සෝල් අගනුවර සියලුම පාසල් සහ පෙර පාසල් වසා දැමීමට බළධාරීහු තීරණය කර ඇත. මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගිය සති දෙක
තුළ සෝල් අගනුවර පාසල් කාර්යමණ්ඩල සහ සිසුන් දෙසීයක පමණ පිරිසකට මෙම වෛරසය ආසාදනය වී තිබීමයි.


පාසල් වසා දැමුවද  සැප්තැම්බර් 11 වෙනිදා දක්වා කාලය තුළ නිවෙස්වල සිට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජනතාවට දැනුම් දී ඇත. එමෙන්ම මේ වසරේ දෙසැම්බර් මාසයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට පෙනී සිටින හා  පාසලේ අවසාන වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් හැර අනෙකුත් සියලු ශිෂ්‍යයන් අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතු වල නිරිත විය යුතු යැයිද ඔවුන් දැනුම් දී තිබේ.

සෝල් අගනුවර මිලියන 25 කට ආසන්න ජනගහනයක් ජීවත් වන බැවින් මෙම වෛරසය නැවතත් ව්‍යාප්ත වීම වැළක්වාගැනීමේ අරමුණෙන් රජය මෙම පියවර ගෙන ඇත. සති කිහිපයකට පෙර රට තුළ කොරෝනා ආසාදිතයන්ගේ අඩුවක් දක්නට ලැබීම හේතුවෙන් මැයි 20 සහ ජුනි පළමුවෙනිදා අතර කාලය තුළ එරට පාසල් යළි විවෘත කළද නැවත වරක් වෛරසය හිස එසවීමේ අවධානමක් දක්නට ලැබීම හේතුවෙන් ඔවුන් මෙම පියවර ගෙන ඇත.
රිෂ්මි ඉෂාරා