කෝට්ටේ මහ නගර සභා මාසික රැවීම නියෝජ්‍ය නගරාධිපති ප්‍රේමලාල් අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (14දා) නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.



එහිදී නගර සභාවේ යෝජනාවක් මතුකරමින් අදහස් දැක්වූ ජ.වි.පෙ නාගරීක මන්ත්‍රී අජිත් ධම්මික බණ්ඩාර මහතා,

"පසුගිය යහපාලන රජයේ සිටි ප්‍රබල අමාත්‍යවරයෙකු විසින් 2002 වර්ෂයේ සිට කෝට්ටේ දකුණු බලප්‍රදේශයට අයත් මිරිහාන, ගංගොඩවිල, නුගේගොඩ, දෙල්කඳ, බැද්දගාන ප්‍රදේශයේ කුණු කසළ ඉවත් කිරීම අබාන්ස් ග්‍රීන් ටෙක් ආයතනයට පවරා තිබේ. මේ නිසා කුණු කසළ ඉවත් කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභාවෙන් මාසයකට අබාන්ස් ක්ලීන් ටෙක් සමාගමට රුපියල් මිලියන 11ක මුදලක් ගෙවනු ලබනවා.

මෙය වහාම නතර කර එය එම සමාගමෙන් පවරාගෙන නගර සභාවේ සෘජු ශ්‍රමය යටතේ කෝට්ටේ මහ නගර සභාවේ සේවකයන් මඟින් මෙම ක්‍රියාවලිය කරගත යුතුයි" යනුවෙන් පැවසීය.

මෙම යෝජනාවට විරුද්ධව කිසිම මන්ත්‍රීවරයෙකු අදහස් පළ නොකර අතර, යෝජනාව සම්මත විය. මීට අමතරව සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමින් කෝට්ටේ මහ නගර සභාවේ ජ.වී.පෙ නාගරික මන්ත්‍රී අරෝෂ අතපත්තු මහතා පවසා සිටියේ, කොළඹ ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලබන හෝටලයක සේවය කරනු ලබන සේවකයන් 25 දෙනෙකු පමණ එහි දෛනික රාජකාරි අවසන් කර සිය නවාතැන් පොළක් ලෙස රාජගිරි මොරගස්මුල්ල ශාන්ත ස්ටීවන් මාවතේ ලැගුම්හලක් භාවිත කරන අතර, ඒ සම්බන්ධයෙන් 1897 අංක 03 දරණ රෝග නිරෝධායන සහ ස්පර්ශකයන් වෙන් කිරීමේ ආඥා පනත අනුව කෝට්ටේ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි මනෝජ් රුද්‍රිගු මහතාගෙන් නිසි අවසරයක් ලබා නොගෙන මෙම ලැගුම්හල තුළ මෙම පිරීස රැදී සිටින බවට වෛද්‍යවරයා විසින් තමන් වෙත දැනුම් දුන් බවයි.

අරෝෂ අතපත්තු මහතා මහ සභාවේදී ලිඛිත සංදේශයක් මඟින් මේ බව උපනගරාධිපති ප්‍රේමලාල් අතුකෝරල මහතාට දැනුම් දෙන ලදී. මෙය ඉතා භයානක තත්වයක් බවත්, මෙමගින් නැවත වෙරසය පැතිරීමේ අවදානමක් ඇතිවිය හැකි බවත් අරෝෂ අතපත්තු මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය නගරාධිපති ප්‍රේමලාල් අතුකෝරල මහතා පවසා සිටියේ අවශ්‍ය කරුණු සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තමා ක්‍රියාකරන බවයි. එමෙන්ම එහිදී අදහස් දැක්වූ එ.ජ.නි.ස. මන්ත්‍රී ප්‍රභාත් විද්‍යාපති මහතා,

කෝට්ටේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය විසින් නගරාධිපති අරමුදලට, මහ මැතිවරණයට නාමයෝජනා භාරදුන් මාර්තු 19 වැනිදා සිට මහ මැතිවරණය පැවැත්වූ කාලය තුළ (2020 අගෝස්තු 05 දක්වා ) රුපියල් ලක්ෂ 05ක පමණ චෙක්පත් නිකුත් කර තිබෙනවා. ඒ ගැන අපි සභා වාර්තාවක් ඉල්ලනවා. නගරාධිපතිවරයා ඡන්දයට ඉදිරිපත් වී බලයේ නොසිටි අවස්ථාවක නගරාධිපති අරමුදල භාවිත කරමින් විවිධ පුද්ගලයන්ට නාගරික කොමසාරිස්තුමිය විසින් චෙක්පත් නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙසත්, මේ සම්බන්ධව රජයේ විගණන අංශය වෙත මෙම ඉල්ලීම් යොමු කරන ලෙසත් ඉල්ලා සිටිනවා” යනුවෙන් පැවසීය. මෙම මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවද උප නගරාධිපති ප්‍රේමලාල් අතුකෝරල මහතා සඳහන් කළේය.

- චන්දන සමරවික්‍රම -