මහා විනාශයක් කළ, බේරූට් වරායේ බිහිසුණු පිපිරුම, කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි යන සැකය තවමත් බැහැර කර නැති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම සිදු කරන බවත් ලෙබනන් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී මහමුද් අල් අස්මාරි පවසයි.
පිපිරුම සම්බන්ධයෙන්, පරික්ෂණ පවත්වන ලෙබනන් ආරක්ෂක අංශ, බේරුට් වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බවත්, පසුව ඔවුන් නිවාස අඩස්සියට පත් කළ බවත් ලෙබනන් පුවත් සේවා ඊයේ (6) වාර්තා කළේය.

පිපිරීම සිදුවීමෙන් පසු, ලෙබනන් ජනාධිපති මයිකල් එයුන් පළමුවෙන්ම කළේ ලෙබනනයේ උත්තරිතර ආරක්ෂක මණ්ඩලය කැඳවා සිදුවුණේ කුමක්දැයි කඩිනමින් සොයා බලන්නැයි නියෝග කළේය. පිපිරීම සම්බන්ධයෙන් වරදකරුවන් කවුරුන්දැයි හඳුනා ගෙන තරාතිරම නොබලා ඔවුන්ට දඩුවම් කළ යුතු යැයි අවධාරණය කළේය.


පුපුරා ගියේ බේරුට් වරායේ ගබඩාවක ගොඩගසා තිබූ ටොන් 2,750 ක ඇමෝනියම් නයිට්‍රේට් තොගයකි. ඇමෝනියම් නයිට්‍රේට් පොහොරක් ලෙසත්, පුපුරණ ද්‍රව්‍යයක් ලෙසත් භාවිතයට ගැනෙයි.

පසුගිය 4 වැනිදා ඇමෝනියම් නයිට්‍රේට් ගබඩාව අසල වෙනත් ගබඩාවක ගින්නක් හට ගැණින. ගින්න හටගත්තේ ගිණිකෙළි ගබඩාවක යැයි පැවැසෙයි. එම ගින්න ඇමෝනියම් නයිට්‍රේට් ගබඩාවට පැතිර යෑමෙන් මහා පිපිරුම සිදුවිය.

පිපිරුමට කලින් හටගත් ගින්න කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත්, කිසියම් පිරිසක් ගින්න අවුළුවන්න ඇති බවත් සැක කෙරේ. එම ගින්න අවුළුවන්න ඇත්තේ ගබඩාවේ ඇමෝනියම් නයිට්‍රේට් ඇති බව දැනසිටි පිරිසක් විය හැකි බවත් සැක කෙරේ. බේරුට් වරාය වීනාශවීමෙන් ලෙබනනය මුළුමනින්ම අඩපණ වී ඇති අතර වරායේ කටයුතු යළි යථා තත්වයට පත් කිරීමට නොහැකි වනු ඇතැයි පැවැසෙයි.

පිපිරුම සිදුවද්දී පළමුවෙන්ම චෝදනා එල්ල වූයේ ලෙබනනයේ අසල්වැසියා වන ඊශ්‍රායලයටය. ඒ, එය ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයක් යැයි අනුමාන කිරිමෙනි. ලෙබනනය සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වෙන්නේ නැත.

ලෙබනනය සහ ඊශායලය අතර විරසකයක් ඇත්තේ ,ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය මුල්කොට ගනිමිනි. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය දේශපාලනික අංශය සහ සන්නද්ධ අංශය ආදී වශයෙන් කොටස් දෙකකි. හිස්බුල්ලා සංවිධානයට ඉරානයේ සහාය හිමිවෙයි. හිස්බුල්ලා සන්නද්ධ අංශය ඉරානයේ අතිරේක හමුදා බලඇණියක් ලෙස ද සැලකෙයි.

ප්‍රහාරයක් නොව, පුපුරා ගියේ ඇමෝනියම් නයිට්‍රේට් ගබඩාවක් බව තහවුරු වෙද්දී, පසමිතුරුකම් අතහැර ලෙබනනයට මානුෂීය ආධාර එවීමට ඊශ්‍රායල රජය පියවර ගත්තේය. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති බැවින් එම ආධාර ලබා දීම සිදු කෙරුණේ විදෙස් රටවල් හරහාය.