බ ඕනෑ තරම් ඡායාරූප වෙනුවෙන් මනාලියක් ලෙස සැරසිලා ඇති. හැබැයි ඔබ ඔබේම ජීවිතේ හීන
දැකපු ලස්සන දවස වෙනුවෙන් මනාලියක් ලෙස සැරසුණා. ඒ ගැන සතුටින් ඇත්තේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මම රංගන ජීවිතයේ මනාලියක් ලෙස ඕන තරම් සැරසිලා තියෙනවා. නමුත් ඇත්ත
ජීවිතේ මනාලියක් වෙන්න මම ගොඩක් ආසාවෙන් හිටියා.
මනාලියක් ලෙස සැරසිලා අපි ගන්න ඡායාරූපයක්
අපේ ජීවිත කාලයටම ඉතුරු වෙනවා. ඉතිං ඒ ඡායාරූප පෙළක් තමයි පහුගියදා එළියට ගෙනාවේ.


විවාහ උත්සවයක් ගන්න හිතුවේ නැත්තේ ඇයි?

අපි විවාහ ගිවිස ගෙන අවුරුදු හතරක් වෙනවා. අපිට විවාහ උත්සවයක් ගන්න බලාපොරොත්තුවක් තිබ්බේ
නැහැ. හැබැයි අපේම කියලා දැනෙන පිරිසක් එක්ක පොඩියට හරි දෙයක් කරන්න ඕනේ කියලා හිතුණා.
නමුත් විවාහ උත්සවයකට ආරාධනා කළාම එයට සහභාගි වෙන්න ලොකු වියදමක් දරන්න ඕනේ.

මට හැම ක්‍ෂේත්‍රයකම මිතුරු මිතුරියෝ ඉන්නවා. උත්සවයක් ගනිද්දී කාව හරි මඟ හැරුණොත් ඒකත්
දරාගන්න බැරි වෙයි. ඉතිං අපි හිතුවා මංගල පින්තූරයක් අරගෙන ගෙදර තියාගන්න. ඒ නිසා තමයි
ලස්සන ඡායාරූප පෙළක් කළේ.

සැමියත් ඒ අදහසට කැමති වුණාද?

ඔව්. ඔහු හරි සරල මනුස්සයෙක්. ඒ සරලකම එක්ක වැඩ කටයුතු කරගෙන යන්න පහසුයි. ඔහුත් ඒ කටයුත්තට
කැමැති වුණා. එයා ටිකක් ෆොටෝ ගන්නකොට ලැජ්ජාශීලියි. නමුත් දැන් ෆොටෝ බල බලා සතුටු වෙනවා.
මටත් ඇත්ත ජීවිතේ මනාලියක් වීම වෙනම හැඟීමක් විදියට දැනෙන්නේ.

මනාලියක්, මනාලයෙක් ලෙස සැරසෙද්දී බොහෝදෙනෙක් ඒ සුවිශේෂී සැමරුම වර්ණවත් කරන්න ඔබට උදවු
කළා නේද?

ඇඳුම් තුනකින් අපි ලෑස්ති වුණා. ප්‍රමීත්  රණවීර මල්ලි අලුතින්ම අපි වෙනුවෙන් ඇඳුම් නිර්මාණය කළා.
සැමියගේ ඇඳුම සැපයූවේ සුරංග ප්‍රනාන්දු. හැඩ ගැන්වීම කළේ ලක්කිත උක්වත්ත මල්ලි. ඡායාරූප
ගත්තේ ප්‍රියංක රත්නායක මල්ලි. මේ තුන්දෙනා තමයි මගේ සිහිනය සැබෑ කළේ. ලොකු කාලයක් මහන්සි
වෙලා ඔවුන් ඒ දේවල් ලෑස්ති කළේ.

ඒ වගේම අපිට මලිත් හෙට්ටිහේවා මල්ලි හැමදේටම උදවු කළා. අනුරාධපුරයේ, ඉසුරුමුණියේ ඡායාරූප
ගන්න උදවු කළාට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා. මලිත්
මල්ලි ෆොටෝ ෂූට් එකේ හැමදේකදිම අපිට උදවු කළා. හොටෙල් ආලකමන්දාව ඡායාරූප ගන්න ලබා දුන්නා.


Crystal Flora සැරසිලි සිදු කළා. නදි කේක් ආකෘති ලබාදුන්නා. ඉඳුනිල් නංගි, දිනුක මල්ලි, රෝයි
ක්‍රිෂ් මල්ලි අපිට හැමදේකදීම උදවු කළා. කයිලාෂනර් කෝවිල ඡායාරූප ගන්න ඉඩ ලබා දුන්නේ කෝවිල
භාර ප්‍රධාන පූසාරිතුමාගේ පුතා වන කයිලාෂ් මල්ලි.

Di Pavilionහි තමයි අපේ බටහිර ඇඳුමෙන් සැරසූණ ඡායාරූප පෙළ කළේ. දිල්ෂාන් තිලකරත්න මල්ලි,
මංජුලා තිළිණි නංගි සහ ඒ පවුලේ සියලු දෙනාටත් ස්තූති කරන්න ඕනේ මුළු දවසම අපට Di Pavilion
කියන ලස්සන නිස්කලංක මේ ස්ථානය ලබා දුන්නට. මේ වගේ පිරිසක් මට ලැබීම වාසනාවක් කියලා හිතනවා.

බොහෝ දෙනෙක් ඔබට සුබපැතුම් එක් කළා නේද?

ඡායාරූප සමාජ මාධ්‍යයට එකතු කළ දවසේ උදේ ඉඳන් දිගටම ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. අපි
සමාජ මාධ්‍යවල මොකක් හරි දැම්මම මිනිස්සු කිහිපදෙනෙක්නේ ඒවා විවේචනය කරන්නේ. හැමෝටම
මොනවා හරි කියන පිරිසක් තමයි ඒ පිරිස. ඇත්තටම ආදරණීය විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් අපිට සුබ
පතලා තිබ්බා. ඒ ඡායාරූප ෂෙයාර් කරලා සුබ පතලා තිබ්බා.

 ඒ ප්‍රතිචාර දැක්කම මගේ ඇස් දෙකට කඳුළු ආවා. මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලබන්න මම කොතරම්
පින් කරලා තියෙනවද කියලා මට හිතුණා.  අපි ජීවත් වෙන්නේ ඒ ආදරයත් එක්ක. ලෝකය පුරා ඉන්න
බොහෝ දෙනෙක්, ප්‍රවීණ ශිල්පීන් බොහෝ දෙනෙක් සුබ පැතුවා. ඒ හැමෝටම ගොඩක් පින්.

ලෙන්ලි ජොන්සන් ඔබේ සැමියා. ඔහු ඔබට මුණගැහිලා ලොකු කාලයක් නේද?

ඔව්. මම ඔහුව හඳුනාගෙන අවුරුදු 18ක් වෙනවා.

ඔබේ ජීවන සහකරුවා ඔබට මුණගැසුණේ කොහොමද? ඔය ආදර කතාවට පදනම වැටුණේ කොහොමද?

ඔහුයි මමයි යාළුවෝ වගේ හිටියේ. ඔහු ඔහුගේ ප්‍රශ්න මාත් එක්ක බෙදාගත්තා. මම මගේ ප්‍රශ්න ඔහුත්
එක්ක බෙදාගත්තා. අපි දෙන්නට දෙන්නා ආදරය කරනවා කියලා හිතුවේ නැහැ. නමුත් එක දවසක් එයා
මගෙන් ඇහුවා අපි ආදරය කරනවා කියලා දැනෙන්නේ නැද්ද කියලා. මටත් එතකොට ඒ වගේ දැනිලා
තිබ්බේ. ඒ කාලේ එයා හිටියේ ඩුබායිවල. මාස තුනකින් විතර එයා ලංකාවට ආවා. තවත් මාස තුනක්
විතර ඇද ඇද ඉඳලා තමයි මාත් එයාට උත්තරයක් දුන්නේ.

ඔහුව තෝරාගන්නත් සුවිශේෂිතා තියෙන්න ඇති?

ඔහු හරිම සරල මනුස්සයෙක්. ඒ සරලකම මට පහසුවක්. අපිට සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් වුණාම අමාරුකම්
දැනුණාමනේ කෙනෙක්ව හඳුනාගන්න පුළුවන්. ජීවිතේ සුන්දර විදිහටම තියෙනවා නම්, ප්‍රශ්න නැත්නම්
කෙනෙක්ව හරියටම හඳුනාගන්න බැහැ. දුකක් ප්‍රශ්නයක් ඇති වුණු හැම මොහොතකම ඒ හැමදේම
බෙදාගන්න සහකරුවෙක් ඉන්නවා කියන හැඟීම මට දැනුණා.

මම ආගම දහමට ගොඩක් නැඹුරු කෙනෙක්. මට ජීවිතය නිදහසේ විඳින්න, විවෘතව හැම දෙයක්ම කතා
කරන්න ඕන වුණේ. අපේ ජීවිතවල රහස් නැති තරමට ජීවිතයේ සැනසීමක් තියෙනවා.  මට ඔහු එක්ක
සැනසීමෙන් ජීවිතය ගෙනියන්න පුළුවන්. ලෝකය මං වෙනුවෙන් මවපු කෙනා මට ලැබිලා ඉන්නවා. ඒ ගැන
සතුටුයි.

ඔබේ තෝරා ගැනීම හරිම තෝරා ගැනීම කියලා දැනෙනවාද?

මම මාව තාත්තා කෙනෙක් වගේ බලාගන්න කෙනෙක් හෙව්වේ. මීට වඩා ගැළපෙන කෙනෙක් මට නෑ. මේ
තෝරා ගැනීම හරි කියලා මට දැනෙනවා.

විවාහ ජීවිතය කියන්නේ වගකීම් ගොඩක් නේද?

ඔව්. තව කෙනෙක්ගේ ජීවිතයක් මගේ දෝතට අරගෙන ඉන්නේ. ඔහුත් මනුෂ්‍යයෙක්. මං නිසා ඔහුගේ හිත
රිදෙන්න බෑ. හිත රිද්දන්න හොඳත් නැහැ.

 පුළුවන් හැමදේම ඔහු එක්ක බෙදා ගන්න ඕනේ. හැම හැඟීමක්ම බෙදාගන්න ඕනේ. මම ජීවිත කාලය
පුරා එයාව සතුටින් තියන්න වගකීම, යුතුකම බිරියක් ලෙස ඉටු කරන්න බැඳිලා ඉන්නවා. අපි අපේ
සම්ප්‍රදායට සංස්කෘතියට බැඳිලා ඉන්නේ. ආගම දහමට බැඳිලා ඉන්නේ. සාමාන්‍ය ගැහැනියක් ලෙස
මටත් ඒ වගකීම් දරන්න වෙනවා.

*විවාහ ජීවිතය කියන්නේ වගකීම් ගොඩක්. කාර්යබහුල ජීවිතය ඇතුළේ පෞද්ගලික ජීවිතය මඟහැර ගන්න
කෙනෙක් නෙමෙයි නේද ඔබ?

නැහැ. මම කොහොමත් පවුලේ අයට මුල්තැන දෙන කෙනෙක්. පාසල් යන කාලේදී වුණත් මට යාළුවන්ගේ
ගෙවල්වල ගිහින් කාලය නාස්ති කරන්න හුරුවක් තිබුණේ නැහැ. ගෙදර අය එක්ක ඉන්න, එයාලා එක්ක
කොහේ හරි යන්න තමයි මම කැමැති වුණේ. මට නෑදෑයෝ පොඩි පිරිසක් ඉන්නේ.

 ඉතිං ඒ පවුලට මම හරි එකතුයි.  මම ෂූටින් ගියත් ගෙදරින් කතා කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්
දුරකථන ඇමතුමක් අරන් ඒ ඇයි කියලා බලනවා. අපිට හරි පොඩි දේවල් ටිකක් කරන්න තියෙන්නේ. ඒ පොඩි
දේවල් ටිකත් මඟහැරගත්තොත් තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. එහෙම ප්‍රශ්න ඇති නොවන විදිහට අවබෝධයෙන්
වැඩ කරන්න මට පුළුවන්.

ඔහු ඔබේ කලා ජීවිතයටත් කවදාවත් වාරණ දාපු නැති කෙනෙක්ද?

එයා මට කවදාවත් වාරණ දාලා නැහැ. එයා මට කියන්නේ ඔළුව නිදහසේ තියාගෙන වැඩ කරන්න
කියලා. වාරණ දාගෙන තියෙන්නේ මමමයි. අරක කරන්න එපා, මේක කරන්න එපා කියලා. එයා කියලා
නැහැ. එච්චර නිදහස දෙන කෙනෙක් මට ඉද්දි මගේ සීමාව තේරුම් අරගෙන වැඩ කරන්න මම දැනගන්න
ඕනේ. මම වැඩකට ගියාමත් කීයටද එන්නේ කියලා එයා අහන්නේ නැහැ.

පැය හත අට හරි එළියට වෙලා මම එනකල් බලාගෙන ඉන්නවා. ඒ අවබෝධය, විශ්වාසය මගේ ජීවිතයට
ලැබීම ආශීර්වාදයක්. ජීවිතේ හැලහැප්පීම් එනවා. අපේ ජීවිතවලත් එහෙම හැලහැප්පීම්, ප්‍රශ්න ඇවිත්
තියෙනවා. නමුත් ඒවා විස¼දාගෙන ජීවිතේ සතුටින් ගෙන යන එක තමයි වැදගත්.

ඔබේ රංගනය විඳින විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. සැමියත් ඔබේ කලා හැකියාවන් විඳින කෙනෙක්ද?

ඔව්. මම චරිතයක් කළත් ඔහු ඒක බලලා ප්‍රතිචාර දෙනවා. මම නිසා තමයි එයා රූපවාහිනිය බලන්න
ගත්තේ. හොඳ ටෙලි නාට්‍ය බලලා කාගේ වුණත් හැකියාව ඔහු අගය කරනවා. මං කරන දේවල් වුණත්
අගය කරනවා.

කලා කටයුතු පැත්තෙන් මොනවද මේ දවස්වල සිද්ධවෙන්නේ?

ලලිත් රෝහිත අධ්‍යක්ෂණය කරන, මනුසත් විමන ටෙලි නාට්‍යයේ වැඩ මේ මාසේ පටන් ගන්නවා. ඒ
වගේම මිහිරි සිරිතිලක අධ්‍යක්ෂණය කරන “සඳගොමුව“ නාට්‍යයටත් සම්බන්ධ වෙනවා. අලුත්
චිත්‍රපටයකටත් ආරාධනා  ලැබිලා තියෙන්නේ. අධ්‍යක්ෂණය පැත්ත ගැන ඉගෙන ගන්නත් සූදානම්
වෙනවා. ඒ වගේම විශාරද විභාගය ලබන අවුරුද්දේ කරන්න ඉන්නේ.

අලුත් ගීතයක් කරන්න අදහසක් නැද්ද?

මිහිර මල්ලි ගීත දෙකක් ලියලා තියෙනවා. ඒ ගීත කරන්න සූදානම්ව ඉන්නේ.

ඔබට කලා ක්ෂේත්‍රයේ මේ තාක් කරන්න ලැබුණු දේවල් ගැන සතුටුද?

ඔව්. මම ගොඩක් සතුටු වෙනවා. මට හොඳ අධ්‍යක්ෂවරුන් යටතේ හොඳ නිර්මාණවල වැඩ කරන්න ලැබුණා.
වේදිකාවේ, පුංචිතිරයේ, සිනමාවේ ආපු ගමන ගැන තෘප්තිමත්. මේ පහුකරන යුගයේ චරිත සීමිතයි. හොඳ
දේවල් ලැබුණොත් ඒවාට මම සම්බන්ධ වෙනවා.

සැමියත් එක්ක එකතු වෙලා ව්‍යාපාර කටයුත්තකුත් පටන් ගත්තා නේද?

ඔව්. ටැක්සි සංකල්පය එක්ක ගම පැත්තෙන් අලුත් දෙයක් කරන්න මේ දවස්වල වැඩ කටයුතු කරගෙන යනවා.


තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප - ප්‍රියංක රත්නායක

Pix by  Priyanka Rathnayake , Dressed by Lakkitha Ukwattha, Modern Ariyasinhala Suit - Suranga Fernando, Bridle Outfits by Praneeith Ranaweera, Retouched by Ruchira Amarakoon