පෙම්වතිය බව කියන තරුණියගේ ගෙල පිහියකින් කපා ඇය ඝාතනය කළේ යැයි පැවසෙන තරුණයා වස වර්ගයක් පානය කර රෝගාතුරව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව මාදම්පේ පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. සිය දිවි නසාගැනීමේ අරමුණින් සැකකරු වස පානය කර තිබෙන බව පරික්ෂණ වලින් පෙනීගොස් ඇතැයි පොලිසිය කියයි. මාදම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.පී.ආර්. අබේනායක මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරික්ෂණ ආරම්භ කළේය.
මෙසේ ඝාතනය කර ඇත්තේ දුම්මලසූරිය, තල්කටුව ප්‍රදේශයේ පදිංචිව සිටි ගම්ලත් නාඋලගේ සඳුනි නිසංසලා (22) නමැති තරුණියකි. මෙම තරුණිය දුම්මලසූරිය ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ගිණුම් පරික්ෂකවරියක ලෙස සේවය කරමින් සිටියාය. මාස 03 ක පමණ කාලයක සිට තරුණිය සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් මීට මාස එක හමාරකට පමණ ඉහතදී ඇය එම සම්බන්ධතාව අතහැර දමා ඇති බවත් පරික්ෂණ වලින් හෙළිවී ඇතැයි එම පොලිස් නිලධාරියා කීය.
සැකකාර තරුණයා ත්‍රිරෝද රථයකින් පැමිණ හතරමන්හන්දියේ විදුලි ට්‍රාන්ස්පෝමරය අසල පෙම්වතිය එනතෙක් සැගවී සිට ඇතැයි පොලිසිය කියයි. තරුණිය ඥාතියකු සමග යතුරු පැදියක නැගී සේවය නිමකර නිවස බලා යමින් සිට ඇත. මේ අවස්ථාවේ සැඟව සිටි සැකකරු යතුරු පැදියේ පසුපස අසුනේ වාඩිවී ගමන් කරමින් සිටි තරුණියගේ අතින් ඇද බිමට ඇද දමා ගෙල කපා ඇතැයි කියති.
-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-