මහරගම  ප්‍රදේශයේ නිවසක තිබී දින පහකට පමණ පෙර මිය ගිය බවට සැක කරන පුද්ගලයකුගේ සිරුරක් පෙරේදා (23) රාත්‍රී සොයාගත් බව මහරගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මහරගම දඹහේන පාර සමන් උයන පදිංචි සම්පත වඩුගේ ඩේවිඩ් ලයනල් විජේවර්ධන (79) නමැති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශ්‍රාමික වාණිජ කළමනාකරුවකු බව පොලීසිය කියයි.


මියගිය පුද්ගලයා හුදෙකලාව මෙම නිවසේ ජීවත්ව සිටින අතරතුරදි මෙසේ මියගොස් ඇති අතර, දින දෙකක පමණ සිට‍ නිවෙස තුළින් දුඟඳක් හැමීම නිසා අසල්වාසීන් ඒ බව 119 හදිසි ඇමතුම් අංකයට දන්වා ඇතැයි පැවසේ.

පසුව මෙම ස්ථානයට පොලිසිය පැමිණ පරික්ෂා කිරීමේදී නිවසේ වසා තබා තිබූ දොරක් කඩා ඇතුළු වී පරීක්ෂා කිරීමේදී පුටුවක් මත මියගිය පුද්ගලයකුගේ සිරුරක් සොයා ගත් බව පොලීසිය පවසයි.

මහරගම හදිසි මරණ පරික්ෂක සාමවිනිසුරු එච්.එම්. ඩග්ලස් රූපසිරි මහතා එම ස්ථානයට පැමිණ පරීක්ෂණය සිදු කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය.

ඒඅනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ24 වැනිදා සිදුකිරීමට නියමිතය. මෙසේ මියගොස් සිටි පුද්ගලයා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශ්‍රාමික වානිජ කළමනාකරුවකු බව පොලීසිය කියයි. මෙම පුද්ගලයාගේ මරණය ඝාතනයක් ද නැතහොත් ස්වාභාවික මරණයක්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිසිය පවසයි. මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකාන්ත මහතාගේ උපදෙස් මත ,පා.කො. (89343) කුමාර ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
- ප්‍රදීප් කුමාර -