මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට තනතුරක් ලබාදෙන බව කිසිවෙකු පවසා නොමැති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ලබාදෙන තනතුරු මේ වනවිට ලබාදී අවසන් බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

වත්තල ප්‍රදේශයේ පෙරේදා (24දා) පැවැති රැස්වීමකින් පසු මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

ප‍්‍රශ්නය - විපක්‍ෂය කියනවා 19 අහෝසියත් එක්ක රට ඒකාධිපති පාලනයකට නතු වෙන බව?

පිළිතුර - විපක්‍ෂය හැමදාම කළේ ඒකාධිපති බිල්ලෙක් මවන එකනේ. මේ විදිහට රටට වැඩක් කරන්න බෑ. අවුරුදු 4 1/2 යහපාලන මොනවද කළේ. රටට වැඩක් කළාද? යහපාලන ආණ්ඩුව යටතේ රට එක තැන පල් වුණා. රටක වැඩක් කරගන්න දේශපාලන ස්ථාවරයක් තියෙන්න ඕන්නේ. එතකොට තමයි රටට ආයෝජකයෝ එන්නේ. ඔය ඒකාධිපති කතාව 2015දීත් කිව්වා කියලා පත් කරගත්ත යහපාලන ආණ්ඩුවෙන් වැඩක් වුණාද? වැඩක් වුණේ මහින්ද මහත්තයාගේ කාලයේ. දැන් රටට වැඩක් වෙන්නේ මේ කාලේ.

ප්‍රශ්නය - හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දෙන්න යන තනතුර මොකක්ද?

පිළිතුර - කවුද කිව්වේ තනතුරක් දෙනවා කියලා.

ප්‍රශ්නය - 19 වෙනස් කරන්න හදන්නේ මෛත්‍රීට තනතුරක් දෙන්න කියලා නේ කියන්නේ.

පිළිතුර - කවුද කියන්නේ මෛත්‍රීට තනතුරක් දෙන බවක් කවුරුත් කියලත් නෑ. එහෙම දෙන්න ලෑස්තියකුත් නෑ. පක්‍ෂවලට දෙන්න ඕන තනතුරු ටික දුන්නා. ඒවා දැන් දීලා ඉවරයි. මහින්ද මහත්තයා සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් විදිහට පහුගිය කාලේ හිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් නම් කරපු අයට තනතුරු දීලා ඉවරයි. ඒ නිසා ඒක ගැටලුවක් නෙමෙයි.

- නවෝද්‍යා පවනි -