රුපියල් කෝටි 14කට අධික මුදලක් සංසරණය වූ බැංකු පොත් 5ක් ළඟ තබාගෙන සිටි කාන්තාවක බොරලැස්ගමුව දේවාලමුල්ල ප්‍රදේශයේදී දෙහිවල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් පෙරේදා (24) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.  මෙම සැකකාරිය දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ මහ
පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකුවන දැනට බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මර්වින් ජානා නමැති සැකකරුගේ ඥාති සොහොයුරියක බවද පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය. අත්අඩංගුවට ගත් සැකකාරිය ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ  කෘෂිකර්ම පරේෂණ නිෂ්පාදන  සහකාරිවරියක වශයෙන් සේවය කරමින් සිටි ඇති බවද පොලීසිය පවසයි.

මර්වින් ජානා නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් මෙම  සැකකාරිය විසින් බැංකු ගතකර වෙනත් ගිණුම් වෙත සංසරණය කර ඇති බවට දැනට සිදුකරන පරික්ෂණවලින් අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි  මාර්ග පවසයි. මෙම සැකකාරියගේ සැමියා ද  මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින බවද පැවසේ.

මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන සුඛෝපභෝගී මෝටර් රථයක් ද පොලිසිය බාරයට ගෙන ඇත. මර්වින් ජානා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්කුඩු ජාවාරමේ උපයාගත් මුදල් සංසරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ඔහුගේ සොහොයුරිය, නිවසේ මෙහෙකරු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගේ නම්වලින් තිබූ බැංකු ගිණුම්වල තිබූ මුදල් රුපියල් කෝටි ගණනක් වෙනත් ගිණුම්වලට සංසරණය කර තිබූ බවද පොලිස් ආරංචිමාර්ග පවසයි. සැකකාරිය රඳවාගෙන ප්‍රශ්න කිරිමට නියමිතව ඇත. දෙහිවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.