මුදල් බලය හෝ ජාත්‍යන්තර බලය කොපමණ තිබුණත් ජනතා හදවත්වල නැති පක්ෂවලට පැවැත්මක් නැති බව මහ මැතිවරණයේ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩී මුසම්මිල් මහතා ප්‍රකාශ කළේය.  එමෙන්ම බෙදුම්වාදී දේශපාලකයන්ට අන්තවාදය කරපින්නාගෙන ගිය  දේශපාලනඥයින්ට හා වංචාව, මුලාව දේශපාලනය කරගෙන ගිය දේශපාලනඥයින්ට ද මෙවර මැතිවරණයෙන් ජනතාව හොඳ කනේ පාරක් දී ඇතැයිද ඔහු කියා සිටියේය. මුසම්මිල් මහතා මේ අදහස්  පළ කළේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ රියේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ  මොහමඩ් මුසම්මිල් මහතා දේශපාලන පක්ෂවලට හා දේශපාලනඥයින්ට ජනතාව බද්ධ වන්නේ මාළුවාට වතුර මෙන් යැයි ද දේශපාලනඥයින් සිටිය යුත්තේ ජනතාව නමැති දියේ යැයි ද කීය. මහ මැතිවරණයේ දී අතිවිශාල පිරිසක් එනම් සියයට  හැත්තෑවක් ජනතාව ඡන්දය පළ කර තිබූ බවත් ඔවුන් සියලු  දෙනාට ස්තූති කරන අතර එයින් පොදුජන පෙරමුණ කෙරෙහි විශ්වාසය තබා පොහොට්ටුවට ඡන්දය දුන් මැතිවරණයට පෙර පාඨලී, අනුර, සජිත් රාජීත වැනි අය විශාල උත්සාහයක් දරමින් මැතිවරණය කල් දමා ගැනීමට උත්සාහ දරමින් සිටි බවත් එසේ බැරි වූ තැන කොරෝනා දෙවැනි රැල්ලක් ගැන කියමින් ඡන්දය කල් දමාගැනීමට තැත් කළ බවත් කී මුසම්මිල් මහතා ඊට හේතුව මේ මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ යැයිද පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මාස නවයක් ඡන්ද තුළ ලක්ෂ විස්සක් අහිමි කරගෙන ඇති බව කී ඔහු ජනාධිපතිවරණයේදී ලක්ෂ පනස් පහක් ලබාගත් ප්‍රේමදාස මහතා මහ මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 35ක් වත් ලබා නැතැයි කීය. මීළග පළාත් සහා මැතිවරණයේදී ඔහු අතහැර දමන ඡන්දදායකයින් සංඛ්‍යාව ලක්ෂ කොපමණ වේ දැයි සිතා ගත නොහැකි බව ද හෙතෙම කියා සිටියේය. විද්වතුන් පමණක් දේශපාලනයේ සිටිය යුතු යැයි තමන් විශ්වාස නොකරන බවත් විවිධ සමාජ ස්ථර නියෝජනය කරන සමාජ ක්‍රියාකාරිකයින්ට දේශපාලනයේ සිටිය යුතු යැයි කියන අනුර දිසානායක මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නේ කවුරුන්දැයි ජනතාව දෑස් දල්වා බලා සිටින්නේ යැයිද සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය අනුර දිසානායක  මහතා ලබා ගත් දා සිට එහි පරාජයේ මාවත විවර වී යැයි කී මුසම්මිල් මහතා නිවැරදි දේශපාලන මාර්ගයක් තෝරා ගත් අවස්ථාවක ජනතාව ජනතා විමුක්ති පෙරමුණට ආසන 37ක් දුන් බව අමතක කළ යුතු නැතැයි ද පැවසීය. එ ජනතා විමුක්ති පෙරමුණ දැන් හොට පටළවාගෙන සියයට තුන අභිභවා ගොස් 225 ටම තුන බවට පත්ව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. මේ පරාජයේ වගකීම අනුර  මහතා භාරගනී ද ටිල්වින් මහතා භාර ගනීද යත පැහැදිලි නැති බවත් එජාප  පරාජයේ වගකීම භාරගෙන  රනිල් වික්‍රමසිංහ මහතා නම් ඉල්ලා අස්වවීමට සූදානමින් සිටින්නේ යැයිද ඔහු සඳහන් කළේය.