දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී (සාග්) බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් රීදී පදක්කමක් දිනාදුන් ඕෂදී පූර්ණමා කුරුප්පු ක්‍රීඩිකාව ලියුකේමියා රෝගයට ගොදුරුව ඇති අතර, ඇයගේ සුවදුක් විමසීමට 24දා ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මහරගම අපේක්ෂා රෝහල වෙත පැමිණියේය. මෙහිදී ඇය ප්‍රතිකාර ලබන වාට්ටුව වෙත ගිය ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ ඇයගේ ප්‍රතිකාර සඳහා මූල්‍යමය උපකාර කිරීමට පියවර ගන්නා බවයි.
කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඕෂදීගේ ජීවිතය බේගැනීම සඳහා වන ශල්‍යකර්මයට දළ වශයෙන් රුපියල් මිලියන 10ක පමණ මුදලක් අවශ්‍ය වී ඇති බව වෛද්‍යවරුන් දැනුම් දී තිබේ.
ඕෂදීගේ ශල්‍යකර්මය සඳහා මුදල් ඒකරාශී කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම පෞද්ගලික හැඳුනුම්කම් මත මේ වනවිට සිදුවන අතර, ඇගේ සුවදුක් විමසීමට ගිය ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඕෂදීගේ මවුපියන්ට ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය ඉතිරි මුදල් පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක් සම්බන්ධ කර ගනිමින් ලබාදීමට කටයුතු කරන බවයි.
2005 වසරේ සිට බැඩ්මින්ටන් ජාතික කණ්ඩායම නියෝජනය කළ ඕෂදී පුර්ණමා කුරුප්පු ජාතික හා ජාත්‍යන්තර වශයෙන් තරඟ රැසක් ජයග්‍රහණය කළ ක්‍රීඩිකාවකි.
ඇයගේ ශල්‍යකර්මය සඳහා දායකවීමට කැමති පරිත්‍යාගශීලීන් වේ නම් මරදාන මහජන බැංකුවේ ගිණුම් අංක 236200113505196 හෝ කොට්ටාව කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 8008646015 වෙත (විමලධර්ම කුරුප්පු) ඔබගේ මූල්‍යමය දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටියි.