අක්‍රීය වී තිබෙන නොරොච්චෝලේ බලාගාරයේ එක් විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අදාළ
කටයුතු ඊයේ (20දා) රාත්‍රියේ සිදුකර තිබේ. මේ අනුව එම යන්ත්‍රය මගින් උත්පාදනය කරන විදුලිය
අද (21දා) දහවල් වන විට ජාකික විදුලි බල පද්ධතියට එක් කිරීමට හැකි වන බවට විදුලි  ඉංජිනේරුවෝ
විශ්වාසය පළ කරති.



පසුගියදා සිදුවූ ජාතික විදුලි බල පද්ධතිය කඩා වැටීමත් සමග නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි
උත්පාදන යන්ත්‍ර තුනම අක්‍රීය වූ අතර මේ නිසා ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 810 ක
ප්‍රමාණයක් අහිමි විය.

මේ නිසා රට කලාප හතරකට වෙන්කර දහවල් කාලයේදී පැයයි විනාඩි 45ක් හා රාත්‍රී කාලයේදී
පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළේය.

මෙලෙස අක්‍රීය වූ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් දෙවැනි විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක කිරිමසඳහා
බොයිලේරුවට ජලය පිරවීම ඊයේ සවස සිදුකර තිබෙන අතර විදුලිය උත්පාදනයට අවශඨ කටයුතු ඊයේ
රාත්‍රියේදීම සිදු කිරීමට විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවෝ කටයුතු කළහ.

එම යන්ත්‍රෙයන් උත්පාදනය කෙරෙන විදුලිය අද දහවල් පද්ධතියට එකතු කළ හැකි බව විදුලි ඉංජිනේරුවෝ
සඳහන් කරති.

මීට අමතර පළමු හා තුන්වැනි යන්ත්‍ර දෙක ක්‍රියාත්මක කිරීමට අදාළව බොයිලේරු දෙකේ ජලය පිරවීම
අද සිදු කිරීමට නියමිතය. එම කටයුතු සිදුවුවහෝත අද රාත්‍රි යේ හෝ හෙට දිනය තුළදී එම ජනන
යන්ත්‍ර දෙකෙහි විදුලියද ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට හැකිවෙයි.

එක් බොයිලේරුවකට ජලය පිරවිමට පැය 4-5 ක කාලයක් ගතවන අතර ඉන්පසු යන්ත්‍රය ක්‍රියාත්මක
කිරීමටද තවත් පැය පහක කාලයක්ගත වෙයි.

මෙම යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමත් සමග දැනට සිදුකරන විදුලි කප්පාදුව ක්‍රමානුකූලව අඩු වී යන අතර
අද රාත්‍රියේ හෝ හෙට දිනය වන විට යන්ත්‍ර තුනම ක්‍රියාත්මක වුවහෙත් විදුලි කප්පාදුව
සම්පූර්ණයෙන්ම නතර කිරීමට විදුලි බල මණ්ඩලය සැලසුම් කර ඇත.