පසුගියදා ඉන්දියාවේ බොලිවුඩ් නළුවෙකු දිවිනසාගැනීමේ සිදුවීම තවමත් ආන්දෝලනාත්මක පුවත් මවන කාරනාවක් බවට පත්ව තිබේ. එලෙස මියගිය සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණයට දින කිහිපයකට පෙර ඔහුගේ කළමනාකාරිනියක ලෙස කටයුතු කළ 28 හැවිරිදි දීශා සාලියන්ගේ දිවිනසාගැන්මක් වාර්තාවූ අතර
එම මරණින් දින 56කට පසුව දැන් එය නොසැලකිලිමත්ව සිදු කරන ලද්දක් බව ඉන්දීය මාධය වාර්තා කර තිබේ.
 ඇගේ මරණ පරීක්ෂණය නැවත සිදුකිරීම පිළිබඳව අවධානය යොමු වී ඇති අතර ඉතා වැදගත් අධිකරණ සාක්ෂි නොමැති වීම පිළිබඳවද සැලකිල්ලට බඳුන් වී ඇති බව සඳහන්ය.

සුෂාන්ත් සිං රාජ්පුත්ගේ කළමනාකාරිනිය වූ ඇය ජූනි 8වෙනිදා අලුයම් වේලාවක ජනකල්යාන් නගර්හි ගැලැක්ස් අපාර්ට්මන්ට් ලෙස හැඳින්වූ උස් ‍ගොඩනැඟිල්ලෙන් බිමට පැන ඇතැයි සිතූ අතර ඇයව ඉක්මනින්ම ෂබතබ්දි රෝහලට ගෙන ගියද ඊට ඇතුල් කරද්දී ඇය මිය ගොස් සිටි බව රෝහලෙන් ප්‍රකාශ කර තිබුණි.

නමුත් දීෂාගේ හදිසි මරණය සම්බන්ධ කාරණය මෙහෙයවීමේදී අධිකරණ වෛද්‍යවරුන් සහ පොලිසිය කටයුතු කළ ආකාරය පිළිබඳ‍ දැන් ගැටලු මතු වන බව එරට වෙබ් අඩවියක වාර්තා කර තිබුණි. මරණයෙන් දින දෙකකට පසුව මරණ පරීක්ෂණය සිදු කිරීම,  පශ්චාත් මරණ පරීක්ෂණයේ ඡායාරූප හෝ වීඩියෝ පටිගත කිරීම් සිදු කර නොතිබීම, අධිකරණ ශල්‍ය වෛද්‍යවරයා විසින් අපරාධ දර්ශන නැරඹීමක් සිදු කර නොමැති වීම,

මෙය අපරාධයක්ද නැත්නම් සියදිවි නසා ගැනීමක් හෝ හදිසි අනතුරක්දැයි හඳුනාගැනීමට පරීක්ෂණ නොපැවැත්වීම වැනි කරුණු ඊට බලපා ඇති බව සඳහන්ය. එමෙන්ම එදින දීශා හැඳ සිටි ඇඳුම් අධිකරණ ශල්‍ය වෛද්‍යවරයා විසින් පරීක්ෂා කර නොමැති අතර ඒවා අධිකරණ රසායනාගාරයට යවා නොමැත.

“අධිකරණ රසායනාගාරයට යවා තිබෙන්නේ ඇයට විෂ ශරීරගත වීමක් සිදු වී ඇත්දැයි බැලීම සඳහා ශරීර අභ්‍යයන්තර කොටස් සහ අපයෝජනයක් සිදු වී ඇත්දැයි බැලීම සඳහා සාම්පල පමණය. එමෙන්ම දීෂාගේ ජංගම දුරකථනයේ තිබූ දත්ත ලබාගැනීම සඳහා පොලීසිය ඇගේ ජංගම දුරකථනයද යවා තිබේ” මූලාශ්‍ර සඳහන් කරයි.

මූලාශ්‍ර පැවසූ මෙම තොරතුරු සත්‍යයක් බවට ජ්‍යෙෂ්ඨ අධිකරණ විද්‍යාඥයන් තහවුරු කර ඇති බව සඳහන්ය.
අපරාධ පරීක්ෂණයක් සිදු කර ඇත්දැයි බැලීමට අදාළ නගරයේ ජංගම අධිකරණ රසායනාගාර කණ්ඩායම සම්බන්ධ කරගත් විට එහි නිලධාරියෙක් කියා ඇත්තේ එවැනි පරීක්ෂණයක් සඳහා තමන්ට ආරාධනාවක් නොලැබුණු බවය.
“දීශාගේ දේහය ආදාහනය කර තිබේ. ඔවුන් සතුව වැදගත් අධිකරණ සාක්ෂි හෝ ඡායාරූපමය සාක්ෂි නොමැතිය. එමනිසා මේ පිළිබඳව විමර්ෂණ සිදු කරන පොලිස් ඒජන්සියට නීතික වෛද්‍ය විශේෂඥයන්ගෙන් දෙවෙනි අධිකරණ මතයක් ලබාගැනීමට තිබ්බා. දැන් ඔවුන්ට ප්‍රබල විද්‍යාත්මක සාක්ෂි මඟ හැරී තිබෙනවා.” LMTG දෙපාර්තුමේන්තුවේ මහාචාර්ය සහ ප්‍රධානියා වන වෛද්‍ය රාජේෂ් ධෙරේ පවසා තිබේ.
සාම්පල ආරක්ෂා කර නොතැබුවේ මන්ද සහ මෙය සිදු වූ ස්ථානයට ගොස් පර්යේෂණ නොපැවැත්වූයේ මන්ද කියා ඇසූ විට බගවතී පශ්චාත් මරණ පරීක්ෂණ මධ්‍යස්ථානයේ පුද්ගලයෙකු කියා සිටියේ “එම ස්ථානයට ගොස් පර්යේෂණ පැවැත්වීමට අපට පොලීසියෙන් උපදෙස් ලැබුණේ නැහැ. ඒ වගේම මෙම මරණය සම්බන්ධ කිසිම පැමිණිල්ලක් ලැබුණේවත් මෙය බලහත්කාරයෙන් සිදු වූවක් බව ඇගේ දෙමාපියන් තුළ සැකයක් තිබුණේවත් නැහැ” කියාය.

මරණ පරීක්ෂණය පැවැත්වීමට දින දෙකක් බලා සිටියේ ඇයි කියා විමසූ විට එම මධ්‍යස්ථානය පැවසුවේ, “මරණයට පත් වූ පුද්ගලයාගේ කෝවිඩ්-19 පර්යේෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් බලා සිටිය යුතු වූවා. එම නිසා දේහය මෘත ශරීරාගාරයේ තබාගැනීම සිදු වූවා. දින දෙකකට පසු බගවතී පශ්චාත් මරණ පරීක්ෂණ මධ්‍යස්ථානයට දේහය යොමු කළේ කෝවිඩ්-19 පර්යේෂණයේ ප්‍රතිඵල ලැබුණු පසුවය.”
දීශාගේ හිස්කබල පුපුරා ඇති බවත් ඉළ ඇට කිහිපයක් බිඳී ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි විය. මරණයට හේතුව ලෙස සැලකුවේ ‘හිසට සිදු වූ අනතුරක් සහ තවත් අනතුරු කිහිපයක්’ ඇසුරින් සිදු වූ මරණයක් කියාය. මෙය අසාමාන්‍යය.

මේ අතර බගවතී පශ්චාත් මරණ පර්යේෂණ මධ්‍යස්ථානය පැවැත්වෙන්නේ පොලිස් ශල්‍ය වෛද්‍ය එස් එම් පාටලීගේ යටතේය. ඔහු මහරෂ්ට්‍රා ප්‍රාන්තය සඳහා නීතික වෛද්‍ය උපදේශකවරයෙක් ලෙස කටයුතු කරයි. ඔහු පැවසුවේ මෙසේය. “ඕනෑම නීතික වෛද්‍ය කාරණයකදී කෝවිඩ්-19 පර්යේෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් බලා නොසිට මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා අවශ්‍ය ආරක්ෂක උපකරණ මම සෑම පශ්චාත් මරණ පරීක්ෂණ මධ්‍යස්ථානයකටම ලබා දී තිබෙනවා. එමෙන්ම අධිකරණ ශල්‍ය වෛද්‍යවරුන්ට අදාළ උපදෙස් දී තිබෙනවා. එමෙන්ම WHO සහ ICMR සංවිධාන පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ  කෝවිඩ්-19 හේතුවෙන් මිය ගිය පුද්ගලයෙකුගෙන් ආසාදනය වීමේ ඉහළ අවදානමක් නොමැති බවයි. මෘත දේහය සවස් වන විට මරණ පරීක්ෂණ මධ්‍යස්ථානයට පොලීසිය විසින් රැගෙන ආවා නම් මරණය සිදු වූ දිනයේදීම මරණ පරීක්ෂණය කළ යුතුයි.”

එමෙන්ම මෙවන් නීතික කාරණයකදී නියමිත වේලාව තුළදී මරණ පර්යේෂණය සිදු කිරීම, මරණය සිදු වූ වේලාව නිශ්චිතවම දැනගැනීම සඳහා ඉතා වැදගත් වන බව ඔහු තවදුරටත් පැවසීය.
“අසාමාන්‍ය මරණයක් සිදු වූ පුද්ගලයෙකුව පශ්චාත් මරණ පරීක්ෂණ මධ්‍යස්ථානයකට රැගෙන ආ විට එය බරපතළ ලෙස සලකමින් ඉතා උනන්දුවෙන් සිදු කළ යුතුයි. මේ මගේ අවස්ථාවකදී මරණ පරීක්ෂක ශල්‍ය වෛද්‍යවරයාගේ වගකීම වන්නේ ඔහුගේ සොයාගැනීම සමඟ අපරාධ පර්යේෂණයක් සිදු කිරීම, ඡායාරූප සහ අමතර තොරතුරු එකතු කරගැනීම වැනි දේය. එමෙන්ම විමර්ෂණය සිදු කරන පොලිස් නිලධාරීන්ද එම දෙයම සිදු කළ යුතුයි. ඒ වගේම ප්‍රවීණ සාක්ෂිකරුවන් සිදු කළ යුතු දේ ගැන ඉන්දියානු සාක්ෂි පනතේ ඉතා පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. එමෙන්ම නගරයේ පශ්චාත් මරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී හෝ පොලිස් ශල්‍ය වෛද්‍යවරයා වැනි විශේෂඥයන්ගේ උපකාර ලබාගැනීමට අධිකරණ ශල්‍ය වෛද්‍යවරයාට ඕනෑම අවස්ථාවක හැකිකම තිබෙනවා.”
“අපරාධ පරීක්ෂණයක් පැවැත්වීම ඉතා වැදගත්. විශේෂයෙන්ම උස් ස්ථානයක සිට පහළට වැටීමකදී එය හදිසි අනතුරක්ද, තල්ලු කිරීමක්ද නැත්නම් සිතාමතා පැනීමක්ද යන්න හඳුනාගැනීමට මෙය වැදගත් වේ. මෙහිදී මිය ගිය පුද්ගලයාගේ උසින් සහ බරින් යුත් ඩමී සකස් කර අදාළ උස් ස්ථානයෙන් බිමට දැමීම සිදු කරයි. මෙකී කාරණා මෙන්ම සිදු වී ඇත්තේ එවැන්නක් නම් සාමාන්‍යයෙන් ශරීරයට සිදු වන හානිය කෙබඳුද යන්න හඳුනාගැනීමට මෙම පරීක්ෂණය උපකාරවත් වේ” වෛද්‍ය පාටලී සඳහන් කරයි.

“අපරාධ පරීක්ෂණයකදී වැදගත්ම සාක්ෂිය වන්නේ ඊට ගොදුරු වූ පුද්ගලයාගේ ශරීරයය. එමනිසා එවැන්නක් සිදු වූ විට කල් නොදමා අපරාධ පරීක්ෂණය සිදු කිරීම වැදගත් වේ” හිටපු FSL අධ්‍යක්ෂිකා වෛද්‍ය රුක්මිණී ක්‍රිෂ්ණමූර්ති පැවසීය.
“අපරාධ පර්යේෂණයකදී සාක්ෂි ලබාගැනීමේ ක්‍රම බොහොමයක් තිබෙනවා. හිතාමතා තල්ලු කිරීමක්ද නැත්නම් හදිසියේ ඉහළින් වැටී ඇත්දැයි බැලීම සඳහා එම පුද්ගලයා වැටී සිටි අයුරුද වැදගත් වේ. එනම් හිස කෙළින්ම බිම ඇනී ඇත්ද නැත්නම් ශරීරය තිරස් අතට වැටී ඇත්ද යන්න වැදගත් වේ. එමෙන්ම තල්ලු කිරීමට යෑමේදී ඇති වූ පොරබැඳීමකින් යම් තුවාල සිදු වී ඇත්ද යන්නද වැදගත්ය” ඇය තවදුරටත් සඳහන් කළාය.
දීශා සාලියන්ගේ මරණය පිළිබඳව පොලීසිය විමර්ෂණ සිදු කරන බව මුම්බායි පොලීසිය අගෝස්තු 5වෙනිදා මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. මෙම මරණය පිළිබඳව විවිධ කතා ඇතැම් සමාජ මාධ්‍ය, පුවත්පත් සහ නාලිකාවල පළ වන බැවින් යම් පුද්ගලයෙකුට මේ පිළිබඳ තොරතුරක් ඇත්නම් එය පොලිස් බලධාරින්ට ලබා දෙන ලෙස පොලීසිය ඉල්ලා ඇති බව සඳහන්ය.

(Mid-day ඇසුරිනි)
එස්.දහනායක