ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ රූපවාහිනී ප්‍රචාරක අයිතිය සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් (එස්.පී.එන්.) සමාගම විසින් අත්පත් කරගනු ලැබ තිබේ. ඉන්දීය සමාගමක් වන මෙම සමාගම 2020 ජුලි මත්ස 1 වැනි දින සිට වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුමකට එළඹ සිටී.



මෙම ගිවිසුම අනුව වසර 3 ක කාලයකදී පැවැත්වෙන ටෙස්ට් තරඟ 10 ක්, එක්දින තරඟ 24 ක් සහ විස්සයි-20 තරංග 18 ක සජීවී විකාශන අයිතිය ඊට අයත්වේ. මෙම තරඟවල සම්පූර්ණ දින සංඛ්‍යාව (සජීවී විකාශය පැවැත්වෙන) දින 92 ක් ලෙසින් ගණන් බලා ඇතත් ටෙස්ට් තරඟයක්
දින 5 ක සම්පූර්ණ කාලය දක්වා නොයන අවස්ථාවලදී එය දින 92 කට වඩා අඩුවිය හැකිය.

ලෝකයේ ක්‍රිකට් කණ්ඩායම් අතර වැඩිම වාණිජ වටිනාකමක් හිමි ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාර දෙකක්ද මෙම ගනුදෙනුවට ඇතුළත් වෙයි. එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි-20 තරඟ 6 ක් සහ එක්දින තරඟ 3 ක් පැවැත්වීමට නියමිත නමුත් එහි නොකියැවෙන කතාව වන්නේ තවත් වසර 3 ක කාලයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරඟාවලියක් නොපැවැත්වෙන බවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් වරට ටෙස්ට් තරඟාවලියක් පැවැත්වී ඇත්තේ 2017 දෙසැම්බර් මාසයේදීය. ඉන්දියාවේදී පැවැති මෙම තරඟාවලියෙන් ඉන්දියාව 1-0 ක තරඟාවලි ජයක් අත්කරගත්තේය.

නව රූපවාහිනී ගිවිසුම අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු සීමිත ඕවර තරඟාවලිය 2021 ජුලි මාසයේදී පැවැත්වීමට නියමිත අතර එයට විස්සයි-20 තරඟ 3 ක් ඇතුළත් වේ. එහෙත් ඉන්දීය පිලට කාලය ඇත්නම් ලබන වසරේදී පැවැත්වෙන මෙම තරඟාවලියට එක්දින තරඟ 3 ක් ඇතුළත් කිරීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත අතර අනෙක් සීමිත ඕවර තරඟමාලාවේ දින වකවානු තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රචාරක අයිතිය හැරුණු විට එංගලන්ත, ඕස්ට්‍රේලියානු සහ අයර්ලන්ත කණ්ඩායම් වලද ප්‍රචාරක අයිතිය හිමිකරගෙන ඇත්තේ සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් සමාගමයි.

නව ගිවිසුමට ඇතුළත් වන පළමු තරඟාවලිය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියකි. එම තරඟාවලිය ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය. මෙම තරඟාවලියට සහභාගි වීම සඳහා ඉන්දීය කණ්ඩායම සැප්තැම්බර් මස අවසන් සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙයි. එහි තරඟදෙකක් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීද අනෙක් තරඟය කොළඹදීද පැවැත්වීමට නියමිතය. මෙම තරඟාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම, දෙසැම්බර් මස මුල් සතියේදී, ටෙස්ට් තරඟ දෙකක තරඟාවලියක් සඳහා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට සූදානමින් සිටී.

- දමින්ද විජේසූරිය -