තරුණයෙකු ලෙස පෙනී සිටි තරුණියක් තවත් තරුණියකගේ ජංගම දුරකථනයට යවා ඇති කටි පණිවිඩය තරුණියගේ පියාට දැක ගන්නට ලැබීමෙන් පසු තරුණයකු ලෙස පෙනී සිටි තරුණිය අත්අඩංගුවට ගත් බව හක්මණ පොලිසිය කියයි. තරුණයා ලෙස පෙනී සිටින තරුණිය සහ අනෙක් තරුණිය අතර වසර දෙකක පමණ කලක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණ වලදී හෙළි වූ බව පොලිසිය කියයි.



තරුණයා ලෙස පෙනී සිටි තරුණිය අනෙක් තරුණියට ජංගම දුරකථනයට එවන ලද කෙටි පණිවිඩයට අනුව රාත්‍රී කාලයේ තරුණියගේ නිවසට පැමිණි පසු තරුණියගේ වැඩිහිටියන් මෙම තරුණයා ලෙස පෙනී සිටින තරුණිය හක්මණ පොලිසියට බාර දී ඇත.

මෙම තරුණියන් දෙදෙනාගේ හැසිරීම සම්බන්ධයෙන් මීට පෙර මව්පියන් ඔවුන්ට අවවාද කළ ද එය නොතකා දිගින් දිගටම ඇසුර පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් තරුණයකු ලෙස හැසිරුණු දහහත් හැවිරිදි තරුණියට සහ දහනව වැනි වියේ පසු වන තරුණිය අසංවර ලෙස හැසිරීමේ චෝදනාව යටතේ සහ තරුණයකු ලෙස වෙස් ගත් තරුණියගේ සහායට පැමිණි විසි පහ, තිස් පහ යන වයසේ පසු වන තරුණයන් දෙදෙනා මෙයට අනුබල දීමේ චෝදනා මත දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කරයි.

හක්මණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලීන් විරවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂක නීලා ද සිල්වා, පොලිස් පරික්ෂක ආර්. ප්‍රේමතිලක, කාන්තා උප පොලිස් පරික්ෂක ඉන්ද්‍රා කාත්ති, කාන්තා පොලිස් සැරයන් ශිරෝමි පොලිස් කොස්තාපල් වසන්ත කාන්තා පොලිස් කොස්තාපල් දිල්හානි යන මහත්ම මහත්මීහු පරික්ෂණ සිදු කරති.

- යසන්ත ආරියරත්න -