පාසල් ශිෂ්‍යයකු වන පහළොස් හැවිරිදි අයියා පණ ගැන්වූ බව කියන ලොරි රථයට යටවි දොළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු වන ඥාති මල්ලි පෙරේදා (22) මිය යාමේ පුවතක් අහුන්ගල්ල වැලිකන්ද ප්‍රදේශයෙන්
වාර්තා වූ බව අහුන්ගල්ල පොලිසිය කියයි.  අනතුරින් මිය ගොස් ඇත්තේ අහුන්ගල්ල, වැලිකන්ද පදිංචි අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයේ හයවැනි වසරේ ඉගෙනුම ලැබූ ඉන්දුවාර සදෙව් දිම්දිනු ද සිල්වා නමැති සිසුවෙකි.

අනතුර සිදු කළ බවට සැක කෙරෙන පහළොස් හැවිරිදි සිසුවා හා මියගිය සිසුවා එකම පවුලේ අයිය නගෝ දෙදෙනකුගේ දරුවන් දෙදෙනකු බව ද පොලිසිය කියයි.  මෙම අයියා සහ මල්ලි වෙසෙන නිවෙස වටා තාප්පයක් ඉදිකිරිමට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙනවිත් රියැදුරා නොමැතිව නවතා තිබූ ලොරියට පහළොස් හැවිරිදි ඥාති අයියා ගොඩ වී ලොරි යතුර යතුරු කටේ තිබෙනු දැක එය කරකවා ඇති බවත් ඒ සමගම පණ ගැන්වුණු ලොරිය ඉදිරියට ඇදීගොස් පාපැදියකින් ඉදිරියට එමින් සිටි  දොළොස් හැවිරිදි මල්ලි යට කරගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි.

මල්ලි යට කරගෙන ලොරිය මීටර් කිහිපයක්ම ඉදිරියටම ඇදී ගොස් ඇති බවත් පොලිසිය කියයි.ලොරියට යට වූ සිසුවා බලපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගිය බව ද පොලිසිය කියයි. ලොරි රථය පණ ගැන්වූ සිසුවා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පෙරේදා (22) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.  මේ සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරික්ෂණය  ඊයේ (23) බලපිටිය  රෝහල් හදිසි මරණ පරික්ෂිකා කේ. වගාඅරච්චි මහත්මිය විසින් බලපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණ.