අමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් ප්‍රාන්තයේ කෙනෝෂා නගරයේදී පසුගිය ඉරිදා සිදු කළ පොලිස් වෙඩි තැබීමකින් ජාකොබ් බ්ලෙක් නම් කළු ජාතිකයකු බරපතළ තුවාල ලැබීමත් සමඟ යළිත් වරක් එරට තුළ කළු ජාතිකයන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වන BLM (Black Lives Matters) උද්ඝෝෂණ ආරම්භ වී ඇතැයි වාර්තා වෙයි.




රාජකාරියේ නිරතව සිටි සුදු ජාතික පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් මෙම කළු ජාතිකයාට වෙඩි තබා තිබේ. ඔහු සිය මෝටර් රථයට ගොඩවීමට උත්සාහ දරද්දී පොලිස් නිලධාරීන් ඔහුගේ පිටුපසින් ගොස් මෙම වෙඩි තැබීම සිදුකරන ආකාරයද විඩියෝවක සටහන්ව තිබේ. එහිදී බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ඔහුගේ වයස අවුරුදු තුනක්, පහක් සහ අටක් වන දරුවන් තිදෙනාද මෝටර් රථයේ සිට ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිට ඇති පවුලේ නීතිඥවරයා පවසයි. මෙම සිදුවීමට අදාළ වීඩියෝ කිහිපයක්ම මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක් වීමට පෙරාතුව බ්ලෙක් පොලිස් නිලධාරින් දෙදෙනා සමඟ පොරබදන ආකාරයද අදාළ වීඩියෝ තුළ සටහන්ව ඇත. රෝහල් ආරංචි මාර්ග අනුව ඔහුට වෙඩි උණ්ඩ හතක් එල්ල වී ඇත. ප්‍රහාරයත් සමඟ එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක කළු ජාතික ජීවිත වෙනුවෙන් පෙනීසිටීමේ ජනතා උද්ඝෝෂණ යළිත් වටයකට රට පුරා ව්‍යාප්ත වෙමින් තිබේ.

ඒ අනුව ජනතා නොසන්සුන්තාව ඇති වීමත් සමඟ අදාළ වෙඩි තැබීම සිදුකළ සුදු ජාතික පොලිස් නිලධාරීන් දෙදෙනා නිවාඩු යැවීමටද විස්කොන්සින් පොලිස් ප්‍රධානීන් පියවර ගෙන ඇත. මෙම විරෝධතාවට එක් වූ පිරිස් කෙනෝෂා නගරයේ පිහිටි රථවාහන අලෙවි පොළකටද ගිනි තබා තිබේ. එහිදී රථවාහන රැසක් විනාශ වී ඇත. එසේම තවත් කඩසාප්පු කිහිපයක්ද ගිනිබත් කෙරී ඇත. මේ තත්ත්වයත් සමඟ ඉදිරියේදී ඇති විය හැකි ජනතා විරෝධතාවක් වේ නම් එය මැඩපැවැත්වීම සඳහා ජාතික ආරක්ෂක බළඇණිය කෙනෝෂා නගරය වෙත කැඳවා තිබේ. එහිදී නගරයේ පිහිටි වැදගත් යටිතල පහසුකම් ස්ථාන සහ සංස්කෘතික ආයතන වෙත ආරක්ෂාව තර කර තිබේ.

පසුගිය මැයි මාසයේදී සිදුවූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාගේ ඝාතනයෙන් පසුව ඇති වූ 'බ්ලැක් ලයිව්ස් මැටර්ස්' උද්ඝෝෂණ රැල්ලේදී රටේ එවැනි ස්ථාන පහරදීමට ලක් විය.