මෙවර පාර්ලිමේන්තුවට යාපනය දිස්ත්‍රික්කයෙන් තේරිපත් වූ සී.වී. විග්නේෂ්වරන් හා ගජේන්ද්‍ර පොන්නම්බලම් යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට පෙර වෙල්ලමුල්ලි වයික්කාල් සොහොන් පිටියේදී දිවුරුම් දී ඇති බවට තොරතුරු ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල්
(විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා පැවැසීය. තමිල් මක්කල් තේසීය කුට්ටනි (දෙමළ ජනතා ජාතික සන්ධානය) පක්ෂයෙන් තේරී පත් වූ සී.වී. විග්නේෂ්වරන් සහ  අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රස් (දෙමළ ජාතික මහජන පෙරමුණ) යන පක්‍ෂ දෙකෙන් පාර්ලිමේන්තුවට පත් වූ මෙම  දෙදෙනා

එසේ නිල නොවන දිවුරුම් දීමක් කිරීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් තවමත් රට බෙදන න්‍යාය පත්‍රයේ සිටින බව යැයි ද සරත් වීරසේකර මහතා සඳහන් කළේය.එසේ කටයුතු කළ ඔවුන් රටේ ඒකීයභාවය රකින බවට පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේ කෙසේ ද යන්න ගැටලුවක් බව ද හෙතෙම කීවේය. රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා මේ බව පැවැසුවේ පිළියන්දල දිසා රෝහල නිරික්ෂණය කිරිමේ චාරිකාවක පෙරේදා (23) නිරත වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

බෙදුම්වාදී ත්‍රස්තවාදීන් හා රණවිරුවන් අතර දරුණුතම සටන් පැවැතියේ මුල්ම වයික්කාල්හි බව කී සරත් වීරසේකර මහතා එහිදී ත්‍රස්තවාදීන් විශාල ප්‍රමාණයක් මිය ගිය බව ද පැවැසීය. පාර්ලිමේන්තු මංගල සැසිය පැවැති දින නව කතානායකවරයාට පක්‍ෂ නායකයන්ගේ සුබ පැතුම් පිරිනමන අවස්ථාවේදී ද විග්නේෂ්වරන් මහතා ජාතිවාදී ප්‍රකාශයක් සිදුකළ බව කී වීරසේකර මහතා එම අවස්ථාවේදී නැගිට ඊට විරුද්ධ වීමට තමා උත්සාහ කළත්, පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව එය පටහැනි නිසා එයට අවස්ථාව නැති වූ බව ද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ඉදිරියේදී කතා කිරීමට තමන් අපේක්ෂා කරන බවත් විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාගේ  එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් සරත් වීරසේකර මහතා පැවැසීය.

-ඩයනා උදයංගනී-