පල්ලේවෙල වේරගොඩ ප‍්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සමඟ සිටි ආධාරකරුවන්ගේ ප්‍රහාරයකට ලක්ව ඉකුත් 16 වැනිදා රාත්‍රියේ වතුපිටිවල රෝහලට ඇතුළත් වූ දෙදෙනා පැය කිහිපයකට පසු මැදියම් රැයේදී
රෝහලෙන් පිටව  පොලිස් ස්ථානයට පැමිණ රුපියල් තිස් දහසක වන්දියක් ලබාගෙන සිද්ධිය සමථයකට පත් කරගනු ලැබීයැයි වේයන්ගොඩ පොලිසිය කියයි.  මෙම සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගතව සිටියේ කුඹල්ඔළුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක පිළිගැනීමේ රැස්වීමක් ඉකුත් 16 වැනිදා රාත්‍රි කුඹල්ඔලුව ප්‍රදේශයේ පැවති බවද එම ස්ථානයට පැමිණි අසල්වැසියකු ඊට බාධා කර ඇති බවද රැස්වීම අවසන් කර මන්ත්‍රීවරිය ඇතුළු පිරිස පිටව යද්දී පළමුව පැමිණි පුද්ගලයා තවත් අයකු සමග මහා මාර්ගයේදී මන්ත්‍රීවරියගේ ගමනට බාධා කර ඇති අතර ඒ අවස්ථාවේ සිදුවූ පහරදීමකින් පසු ඔවුන් දෙදෙනා රෝහල් ගතව ඇති බවත් මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය විය.

තමන්ට සිදු වූ බාධා කිරීම හා තර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනි  කෝකිලා හර්ෂනී ගුණවර්ධන මහත්මිය ද වේයන්ගොඩ පොලිසියට වාචික පැමිණිල්ලක් කරනු ලැබූ අතර වතුපිටිවල මූලික රෝහලට ඇතුළත්ව මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනා 17 අලුයම සිය කැමැත්තෙන් රෝහලෙන් පිටව 12.30 ට පමණ වේයන්ගොඩ පොලිසියට පැමිණ ඇත. අනතුරුව පොලිස් ස්ථානයේදී මන්ත්‍රීවරිය හා ආධාරකරුවන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව රුපියල් තිස් දහසක් වන්දි මුදලක් ලබාගෙන සිද්ධිය සමථයකට පත් කර ගෙන ඇත. වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්න වෑත්තෑව මහතා සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීය.

-පුෂ්පකුමාර මල්ලවආරච්චි-